
සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දෙන අප රටේ වර්තමානයේ සිදුවන සිදුවීම් පිළිබඳව කණගාටුව පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධ ශාසනයට හිමි කර දී ඇති මුල් තැන අද වන විට නිසි ලෙස ක්‍රියාත්මක නොවන බැවින් ඊට අදාළ නීතිරීති හා රෙගුලාසි වර්තමානයට ගැලපෙන ලෙස වහා යාවත්කාලීන විය යුතු බවද විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ කඹුරුපිටිය සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරස්ථානය ඇතුළු විහාර ගණයෙහි අධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ජ්‍යේෂ්ඨ අනුනායක, අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක හිමිපාණන් වහන්සේ මුණගැසුණු අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ බුද්ධාගමට මෙන්ම සෙසු ආගම් සහ ජාතීන්ටද හිමි නිසි තැන ලබා දිය යුතු අතර මහා සංඝරත්නයේ චීවරයට සෑම විටම ගෞරව කළ යුතු බවයි.
සති දෙකෙන් දෙකට කමිටු දමමින් කල් මරනවාට වඩා පැය 24ක් ඇතුළත තොරතුරු සොයා බලා ආගමික නායකයන්ගේ ඇඳුම් පැළඳුම් හා පැවැත්මට බලපෑම් නොවන පරිදි, චීවරයේ ගරුත්වය සුරකින රෙගුලාසිමය වෙනසක් වහාම සිදුවිය යුතු බව පැවසීය.
භික්ෂූන් වහන්සේලාගේ සිවුර ගැලවීමේ ක්‍රියාවලිය අන්ත දුෂ්ට ක්‍රියාවක් බවත්, එලෙස සිවුරු ගැලවීමට ගිහියන්ට කිසිදු අයිතියක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්, අදාළ නීතිරීති වෙනස් කිරීම සඳහා විපක්ෂයක් ලෙස කළ හැකි උපරිම බලපෑම සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.



















































