
ඉදිරි පුරෝකතන අනුව ලැබෙන වාර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් කැලණි, කළු, ගිං, නිල්වලා ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජලමට්ටම් ඉහළ යා හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපයේ ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් තෙත් කලාපයේ ඇතැම් ගංඟා ද්‍රෝණිවල ජලමට්ටම් මේ වනවිටත් ඉහළ මට්ටමක පවතින බවය.
වර්තමාන කාලගුණ තත්ත්වය හා එහි බලපෑම් පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.
විශේෂයෙන් පොල්අතුමෝදර සහ බෙන්තර වැනි කුඩා ගංඟා ද්‍රෝණිවලද ජලමට්ටම් ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ස්ථානවල ජලමට්ටම් අවදානම් මට්ටමට ආසන්නව පවතින බව ඔහු සඳහන් කළේය.
ඉදිරි කාලගුණ අනාවැකි අනුව මධ්‍යම පළාතේ ප්‍රදේශ රැසකට මෙන්ම වියළි කලාපයට ජලය ගලා බසින ගංඟාවලද ජලමට්ටම් ඉහළ යා හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.
එමෙන්ම වියළි කලාපයේ ප්‍රදේශවලට වර්ෂාව ලැබීමත් සමඟ ඇතැම් ගංඟාවල ජලමට්ටම් හදිසියේ ඉහළ යා හැකි බැවින්, ගංඟා ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසද ඔහු ඉල්ලා සිටියි.
මේ අතර ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින කැලඹිලි තත්ත්වය හේතුවෙන් අද (12) රාත්‍රියේ සිට ඉදිරි දින තුනක කාලය තුළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ, මෙම කැලඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවය.
ඒ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බව ද ඔහු පැවසීය.
මේ අතර, මුහුදු ප්‍රදේශවල ද වැසි වැඩිවීමේ හැකියාවක් පවතින බැවින් ධීවර හා නාවික ප්‍රජාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
කෙසේ වෙතත්, මෙම කැලඹිලි තත්ත්වය ප්‍රබල ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා නොකරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



















































