
වනඅලි ජීවිතයට තර්ජනයක් වන හක්ක පටස් ඇතුළු උපකරණ නිෂ්පාදනාගාරයක් ගල්ගමුව ප්‍රදේශයේදී වැටලීමට පියවර ගත් බව පරිසර අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ගල්ගමුව ප්‍රදේශයේ අද (06) සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් අනුව මෙම නිෂ්පාදනාගාරය වැටලීමට පියවර ගත් බවය.
මෙහිදී මුවහම්, හක්කා පටස්, උගුල් ඇටවීමට භාවිතා කරන උපකරණ ඇතුළු ආයුධ රැසක්ද නිලධාරී භාරයට ගෙන තිබේ.
පරිසර අමාත්‍යවරයාගේ නියෝග මත ක්‍රියාත්මක කර ඇති මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ වනඅලි ඝාතනය සඳහා භාවිත කරන හක්කා පටස්, මුදු සහ නීතිවිරෝධී ගිනි අවි ඇතුළු උපකරණ හඳුනාගෙන ඉවත් කිරීම මෙන්ම එය භාවිත කරන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමය.
ඒ අනුව ගල්ගමුව ප්‍රදේශයේදී සිදුකළ මෙම වැටලීම අනුව අදාළ නිෂ්පාදනාගාරය වටලා ඇති අතර එහිදී පුද්ගලයින් කිහිප දෙනෙකුද අත්අඩංගුවට ගැනීමටද පියවර ගෙන තිබේ.
අමාත්‍යාංශය පැවසුවේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කණ්ඩායම් පහකට බෙදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය ආරක්ෂක සහාය ලබා දුන් බවය.
මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සොයාගත් උපකරණ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
තවද මෙරට වනඅලි සම්පත ආරක්ෂා කිරීම සඳහා නීතිවිරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් වනඅලි ඝාතනයට හෝ වනජීවින්ට හානි කිරීමට යොදා ගන්නා නීතිවිරෝධී උගුල් හා උපකරණ සම්බන්ධයෙන් ඉදිරියේදීත් අඛණ්ඩව වැටලීම් සිදු කරන බවද අමාත්‍යාංශය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.





















































