
අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) සිය සහතිකය සටහන් කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.
ඒ මඟින් 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීමේ පනතේ නීතිමය හා පරිපාලන විධිවිධාන යාවත්කාලීන කිරීමට මෙන්ම අපනයන කෘෂිකාර්මික භෝග සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.
සංශෝධන මඟින් පරිපාලන ව්‍යුහය යාවත්කාලීන කරමින් “අධ්‍යක්ෂ” යන තනතුරු නාමය වෙනුවට “අධ්‍යක්ෂ ජනරාල්” යන තනතුරු නාමය භාවිත කිරීමටත්, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ සහකාර අධ්‍යක්ෂ යන තනතුරු ඇතුළත් කිරීමටත් විධිවිධාන සලසා ඇත.
එමෙන්ම, “අපනයන කෘෂිකාර්මික භෝගය” යන අර්ථ දැක්වීමද සංශෝධනය කර ඇති අතර, දේශීය පරිභෝජනයට අමතරව අපනයන විභවයක් සහිත බව හඳුනාගත් භෝග ඊට ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත්, වී, එළවළු, පලතුරු, අල වර්ග සහ ඇතැම් ආහාර භෝග මෙන්ම වැවිලි භෝග එම අර්ථ දැක්වීමට ඇතුළත් නොවේ.
ඒ අනුව, අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 24 දරන අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත ලෙස බලාත්මක වී තිබේ.





















































