
ලංකාවට ආසන්න මුහුදු සීමාව තුළ පවතින ඉරාන නැව්වලට සම්බන්ධව මේ වන විට පැන නැගී ඇති තත්ත්වය හමුවේ රජය තීරණ ගනු ලබන්නේ රටේ ජනතාවගේ ආරක්ෂාව අනුව බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නයේ ඇති ඉරාන නෞකා සඳහා පහසුකම් සැපයුවහොත් මෙරටට සම්බාධක එල්ල විය හැකි බවට මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය රජයට අනතුරු අඟවා ඇතැයි අමෙරිකාවේ "ද වෝල් ස්ට්‍රීට් ජර්නල්" පුවත්පත පසුගියදා අනාවරණය කළේය.
එහි සඳහන්ව තිබුණේ අමෙරිකානු බලධාරීන් විසින් මෙරට රජයෙන් ආසන්න සති කිහිපය තුළ මෙම ඉල්ලීම සිදුකර ඇති බවය.
අමෙරිකානු අවහිරකිරීම් හේතුවෙන් දින ගණනාවක් පුරා කොටුවී ඇති මෙම නෞකාවලින් ආහාර ඉල්ලා ඉතා දුක්බර ඉල්ලීම් ලැබෙන නමුත් රජයේ අනුමැතියක් නොමැතිව සේවා සැපයීමට නොහැකි බවට මෙරට නැව් නියෝජිතයින් පවසා ඇති බවද එම පුවත්පත අනාවරණය කර තිබුණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධව අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මෙම ප්‍රශ්නයේදී රජය තීන්දු තීරණ ගනු ලබන්නේ රට සහ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් බවය.
ඒ අනුව පසුගිය යුද්දයේ දරුණුතම අවස්ථාවේදී පවා රජය තීන්දු තීරණ ගනු ලැබුවේ රටේ ජනතාවගේ සහ රටේ ආරක්ෂාව ගැන සිතමින් බවත් එහිදී එක් පාර්ශ්වයකට හෝ පක්ෂපාතී නොවුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
යුදමය කාලසීමාවේදී දෙපාර්ශ්වයම මෙරටින් පහසුකම් ඉල්ලා තිබුණද රජය එහිදී කිසිදු පක්ෂපාතීවීමකින් තොරව මානුෂීය පදනමින් පමණක් මැදිහත්වීම් සිදු කළ බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
"අපේ අනන්‍ය මුහුදු සීමාව තුළ නාවික සැතපුම් 12ක සීමාව තුළ නැහැ. එතකොට ජාත්‍යන්තර මුහුදේ ඉන්දියානු සාගරයේ මේ නැව් ඕන තරම් පවතිනවා. අනික මේ වෙලාවේ යුදමය තත්ත්වයක් පවතිනකොට, හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව විවිධ ප්‍රශ්න මතුවෙනකොට මෙවැනි යාත්‍රා හැම පැත්තෙම ඒවා තියෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ නිවේදන නිකුත් කරලා තියෙන්නේ අපිට විශේෂයක් කරලා නෙමෙයි. මෙවැනි අවස්ථාවකදි අමෙරිකා එක්සත් ජනපදයත් මේ යුද්ධයේ එක පාර්ශ්වයක් නියෝජනය කරනවා. එතකොට රටක් හැටියට ඔවුන්ගේ මතය ඉදිරිපත් කරනවා ලෝකයේ ඕනෑම රටකට මේ වගේ ද්විතීක සම්බාධක පැනවෙන්න පුළුවන් මෙහෙම සැපයුමක් කළොත් කියන එක. මම හිතන්නේ අපි ඒ ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ. කෙසේ නමුත් අපි තීන්දු ගන්නේ අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව සිතමින්. අපි මීට වඩා අමාරු වෙලාවක, යුද්ධයේ දරුණුතම වෙලාවෙදිත් අපි ඉතාම දූරදර්ශී තීන්දු ලබා ගත්තා අපි එක පැත්තකටවත් පක්ෂපාතී වුණේ නෑ, කාටවත් එහෙම අමතර පහසුකම් සලසන්න ගියේ නෑ. දෙපාර්ශ්වයම අපෙන් පහසුකම් ඉල්ලා තිබුණා හැබැයි අපි ඉතාම මානුෂීය පදනමේන් ඒ ප්‍රශ්නයට මැදිහත් වෙලා යුද්ධයට සම්බන්ධ කොයි පාර්ශ්වය වුණත් ජීවිත ආරක්ෂා කරගන්නා ආකාරයට තමයි ජනාධිපතිතුමා සහ රජයේ මැදිහත්වීම සිදුවුණේ.
ඒ නිසා මේකෙදිත් අපි අපේ රටේ ආරක්ෂාව ගැන හිතනවා, අපේ රටේ ජනතාව ගැන හිතනවා ඒ අනුව තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අපිට කියපු එකක් නෙමෙයි ලෝකේ හැමෝටම කිව්වා මෙහෙම වුණොත් එහෙම ද්විතීක සම්බාධක දානවා කියලා ඉතිං අපිත් ඒ ගැන සැලකිලිමත් වෙන එක හොඳයි."





















































