
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර ගිහි ඇඳුමක් ඇන්දවීම බන්ධනාගාර ආඥාපනත අනුව සිදුවූවක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙහිදී කටයුතු කර ඇත්තේ බන්ධනාගාර ආඥාපනත ප්‍රකාරව බවය.
එමෙන්ම මේ වන විටත් විවිධ වැරදි සම්බන්ධව ස්වාමීන්වහන්සේලා 63 දෙනෙකු බන්ධනාගාරගතව ඇතැයිද ඔවුන්ටද මෙම පියවරම අනුගමනය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
"බන්ධනාගාර ආඥාපනත හැටියට කටයුතු කළ යුතු ආකාරයක් පවතිනවා. මේ සිදුවීමේදී විශේෂයක් කරලා නැහැ. දැනටමත් බන්ධනාගාරගත වෙලා දඩුවම් ලබමින් ඉන්න හාමුදුරුවන් වහන්සේලා 63 දෙනෙකුට කටයුතු කරලා තියෙන ආකාරයටම තමයි ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ටත් බන්ධනාගාර ආඥාපනත යටතේ බන්ධනාගාර නීතියෙන් කටයුතු කරලා තියෙන්නේ. මේක මේ හාමුදුරුවන්ට විතරක් කරපු වැඩක් නෙමෙයි බන්ධනාගාර ආඥාපනතෙන් කරන ක්‍රමවේදයක්"
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අද අධිකරණය වෙත රැගෙන ඒම සම්බන්ධව මේ වන විට සමාජය තුළ දැඩි අවධානය යොමුව තිබේ.
මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් කෝට්ටේ සංඝ සභාවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක්ද යොමු කර තිබුණි.
එහි සඳහන්ව ඇත්තේ ඥානසාර හිමි විනය පිටකයට අනුව පරාජික වී ඇති භික්ෂුවක් ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතළ හේතුවක් සිය සංඝ සභාව වෙත වාර්තා නොමැති බවය.
එමෙන්ම ශාසනික වශයෙන් ඒ හිමියන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩ හැරීම සිය සංඝ සභාවට අයත් වගකීමක් බවද අදාළ ලිපිය මගින් දැනුම්දී තිබුණි.
එබැවින් උන්වහන්සේගේ සිවුර ඈත් නොකරන ලෙසත් සිවුර ඇඳීමට උන්වහන්සේට අවස්ථාව ලබාදෙන ලෙසත් කෝට්ටේ සංඝ සභාවේ, ප්‍රධාන ලේඛකාධිකාරී, පූජ්‍ය ආචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබේ.





















































