
update:1.34pm
සිරදඬුවම් නියම කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චීවරය වෙනුවට සිරකරු ඇඳුමින් යුතුව අද (06) නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිමි වී තිබූ ජනපති සමාව බලරහිත බවට ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් පසු අධිකරණයට අපහාස කිරීම වෙනුවෙන් පැනවී තිබූ සය වසරක සිරදඬුවමේ ඉතිරි කාලය බලාත්මක කිරීමට අභියාචනාධිකරණය ඊයේ නියම කළේය.
ඒ අනුව ඥානසාර හිමියන් ඊයේ බන්ධනාගාරය වෙත රැගෙන යාමෙන් පසු උන්වහන්සේගේ චීවරය ඉවත් කර සිරකරුවන්ට නියම ජම්පරය ලබාදුන් බවත් , උන්වහන්සේ ඉන් සැරසී සිටින බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කළා.
එවන් පසුබිමක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද පෙරවරුවේ කොළඹ මහාධිකරණය වෙත නැවත රැගෙන එනු ලැබීය..
එහිදී දක්නට ලැබුණේ ඥානසාර හිමියන් චිවරය වෙනුවට සිරකරු ඇඳුමින් සැරසී සිටින ආකාරයයි.
උන්වහන්සේව මෙසේ බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එනු ලැබුවේ කොළඹ මහාධිකරණය නිකුත් කර තිබෙන වරෙන්තුවකට අදාළව ඉදිරිපත් කිරීම සඳහායි.
මෙවන් වාතාවරණයක ඥානසාර හිමියන් අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රිධර්ම මහා සංඝසභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනා හිමියන් අද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබුණි.
ඒ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම සම්බන්ධවයි.
-ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අදාළ නඩුව ලබන 23 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුකරය අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී වරෙන්තුව මත අත්අඩංගුවට ගන්නා ලද ඥානසාර හිමියන්ව ගිහි ඇඳුමින් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරය යළි ලබන 23 වැනිදා කැඳවන ලෙස නියම කළේය.





















































