
සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් තිදෙනා ඔක්තෝබර් 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අල්ලස් දීම සහ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ, අධිකරණ සේවකයෙකු සහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලබන 20 වනදා දක්වා මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කර තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
මේ වනවිට සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අදාළව කොළඹ මහාධිකරණ අංක 11 ශාලාවේ පවතින තවත් අල්ලස් නඩුවකට අදාළව සහනදායී දඬුවමක් ලබාදීම සඳහා රුපියල් 50,000ක් අල්ලස් ලබාදීම සහ ලබා ගැනීම, ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට මොවුන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.























































