
ඩුබායි රාජ්‍යයට අයත් ‘flydubai’ ගුවන් සේවයට සම්බන්ධ වීමටත් පෙර සිටම, ඊශ්‍රායලයේ 'බෙන්-ගුරියන්' ගුවන්තොටුපළ වෙත ගමන් ගත් ගුවන් යානයක් අනතුරට ලක් කිරීමේ සැලසුමක් තමා සතුව තිබූ බව, එම ගුවන් යානය පැහැර ගැනීමට තැත් කළ සහායක ගුවන් නියමුවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විමර්ශකයන් හමුවේ පිළිගෙන තිබේ.
ඔමාන් ජාතිකයෙකු වන මෙම සහායක ගුවන් නියමුවා, ගුවන් සේවයට බැඳීමටත් පෙර මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව විමර්ශන සම්බන්ධයෙන් දැනුවත් ඊශ්‍රායල නිලධාරීන් දෙදෙනෙකු ද තහවුරු කර ඇත.
ඩුබායි සිට ඊශ්‍රායලය බලා පියාසර කරමින් තිබූ මෙම යානයේ නියමුවාට, හදිසි අවස්ථාවන්හිදී භාවිතා කරන පොරවකින් සම-ගුවන් නියමුවා විසින් පහර දී ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපතිවරයා මෙම සිදුවීම නිල වශයෙන් "ත්‍රස්ත ප්‍රහාරයක්" ලෙස නම් කර තිබේ.
මෙම සැකකරු හමාම් අල්-හම්මාමි (Hamam al-Hammami) නම් ඔමාන් ජාතිකයෙකු බව ආරංචි මාර්ග සඳහන් කළද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් හෝ ‘flydubai’ ගුවන් සේවය ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් නිල වශයෙන් හෙළි කර නැත.
දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භාරයේ පසුවන සැකකරුට එරෙහිව මෙතෙක් විධිමත් චෝදනා එල්ල කර නොමැති අතර, ඔහු නීතිඥයෙකු පත් කරගෙන ඇද්ද යන්න මෙතෙක් අනාවරණ වී නැත.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු මීට දශකයකට පමණ පෙර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි RMIT විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති බවය.
ඒ අනුව, ඔස්ට්‍රේලියානු ත්‍රස්ත මර්දන ඒකකයක් මේ වන විට ඔහුගේ ඔස්ට්‍රේලියානු සබඳතා පිළිබඳවද පරීක්ෂණ පවත්වයි. මීට අමතරව, ඔහු නවසීලන්තයේද යම් කාලයක් ගත කර ඇති අතර, නවසීලන්ත පොලීසියද ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබේ.
මෙම සහායක ගුවන් නියමුවා රැඩිකල් ඉස්ලාමීය අන්තවාදයට ගොදුරු වී සිටි, පැහැදිලිවම මරාගෙන මැරීමට සූදානම් වූ අයෙකු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත.
මෙම අනපේක්ෂිත සිදුවීමත් සමඟ, ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති රටවල පුරවැසියන් වන ගුවන් නියමුවන්ට ඊශ්‍රායලය වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම තහනම් කරමින් දැඩි ආරක්ෂක සමාලෝචනයක් සිදු කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබේ.





















































