
පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර අඟුණාවල ප්‍රදේශයේදී අද පස්වරු 6.20ට පමණ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබේ.
එහි අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා අද දෙරණ කළ විමසීමකදී ප්‍රකාශ කළේය.
මේ අතර, පේරාදෙණිය සිට කොළඹ බලා ධාවනය වූ උදෑසන කාර්යාල දුම්රිය අද (05) උදෑසන ගංගොඩ ප්‍රෙද්ශයේදී පීලිපැනීමකට ලක්විය.
ඒ , දුම්රිය මාර්ගයට ගල් සමඟ පස් කන්දක් කඩාවැටී මාර්ගය අවහිරවීම හේතුවෙනි.
2025 නොවැම්බර් මස දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් උඩරට දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවිය.
ඒ අනුව කොළඹ සිට දිවෙන උඩරට දුම්රිය රඹුක්කනින් ගමන් නතර කෙරුණි.
හානි වූ ඉතිරි කොටසේ වැඩ මාස 10 ක පමණ කාලයක් තිස්සේ පිළිසකර කිරීමෙන් පසු කොළඹ කොටුව සිට ගම්පොළ දක්වා දුම්රිය ධාවනය උත්සවශ්‍රීයෙන් යළි ආරම්භ කෙරුණේ ඉකුත් ඔක්තෝබර් 2 වැනිදාය.
ඒ අනුව රාජකාරී සතිය ඇරඹී එහි පළමු දිනය වූ අද මගීන් රැගෙන පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් අලුයම 4.35ට කොළඹ කොටුව බලා පළමු කාර්යාල දුම්රිය ගමන් ආරම්භ කළේය.
එහෙත් එය ඉහළ කෝට්ටේ, කඩිගමුව සහ ගංගොඩ අතරදි පීලිපැනීමකට ලක්වුණි.
දුම්රිය මාර්ගයට ගල් සහ පස් කණ්ඩියක් පතිතවී තිබී ඇති අතර රියදුරුට එය දර්ශනය නොවීමෙන් දුම්රිය එන්ජිම හා එක් පෙට්ටියක් පිලීපැන අනතුරට ලක්ව තිබුණි.
ෙඑම අවස්ථාවේ සියලු මගීන් අතුරු මාර්ග ඔස්සේ කඩිගමුව බස් මාර්ගයට පැමිණියේය.
එහි සිට බස්රථවලින් රඹුක්කනට පැමිණි මගීන් සඳහා රඹුක්කන සිට අද උදෑසන අතිරේක දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරන්නේ ප්‍රතිසංස්කරණවලින් පසු ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අවසරයකින් තොරව උඩරට මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කළ බවටය.
මෙම චෝදනාව ගැන අද දෙරණ කළ විමසීමකදී ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසුවේ , ජනතාවට ප්‍රවාහනයේ ඇති මූලික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මූලිකව හඳුනාගත් ස්ථාන ස්ථාවර කිරීමෙන් පසු සියලු පාර්ශ්වවල එකඟතාවයකින් උඩරට මාර්ගයේ ධාවන කටයුතු යළි ආරම්භ කළ බවය.
මේ අතර දුම්රිය මාර්ගයට වැටී තිබූ පස් හා ගල් ඉවත් කර මාර්ගය යළි යථා තත්ත්වට පත්කිරීමෙන් පසු රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය අද පස්වරුවේ යළි ආරම්භ කළේය.
ඒ අනුව අද පස්වරු 4.35ට කොළඹ කොටුවේ සිට ගම්පොළ දක්වාත් පස්වරු 5.15ට කොළඹ කොටුවේ සිට පේරාදෙණිය දක්වාත් දුම්රිය දෙකක් ධාවනය කෙරුණි.
එම අතරවාරයේ දී මෙලෙස නැවතත් අද පස්වරු 6.20ට පමණ පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර අඟුණාවල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බව වාර්තා විය.





















































