
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ මානව හිමිකම් සංවිධානවල දැඩි විරෝධය හා අනතුරු ඇඟවීම් නොතකා, මැලේසියාව විසින් මියන්මාර සරණාගතයින් සහ සංක්‍රමණිකයින් 1,500කට ආසන්න පිරිසක් යුද ගැටුම් පවතින ඔවුන්ගේ මව්බිර වෙත යවා තිබේ.
යුදමය වශයෙන් අස්ථාවර වී ඇති මියන්මාරය වෙත මෙම පිරිස රැගෙන ගොස් ඇත්තේ නාවික යුද නැව් දෙකකින් සහ රෝහල් නෞකාවකිනි.
මැලේසියාවේ රඳවා සිටින මියන්මාර පුරවැසියන් 5,000ක පිරිසක් අදියර කිහිපයක් යටතේ මෙලෙස මව්බිරට යැවීමට නියමිත අතර, එහි පළමු අදියර යටතේ පැමිණි 1,479 දෙනෙකු ඉරිදා අලුයම දකුණු යැංගොන් නුවරට ළඟා වී ඇත.
මෙම සියලු නැවත පැමිණීම් "ස්වේච්ඡාවෙන් සිදුවූවක්" බව මැලේසියානු රජය අවධාරණය කළද, මියන්මාර සරණාගතයින්ට වෙනත් විකල්පයක් නොතිබූ බවටත්, එරට තත්ත්වය තවදුරටත් අනාරක්ෂිත බවටත් මානව හිමිකම් නිරීක්ෂකයෝ දැඩි කනස්සල්ල පළ කරති.
මීට අමතරව, සරණාගතයින්ගේ මෙම තීරණය "කැමැත්තෙන්" ගත් එකක්දැයි තහවුරු කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සරණාගත නියෝජිතායතනයට (UNHCR) අවස්ථාව ලබා දී නොමැත.
රොහින්ග්‍යා මුස්ලිම් ජනතාව ඇතුළු සරණාගතයින්ට එරෙහිව මැලේසියාව තුළ මතුවෙමින් පවතින විරෝධතා සහ මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් විසින් ජූලි මාසයේදී නිවේදනය කරන ලද ප්‍රතිපත්තියකට අනුව මෙම පිටුවහල් කිරීම් සිදුකර තිබේ.
ආර්ථික, සමාජීය සහ ආරක්ෂක බරක් පවතින බව පවසමින්, මැලේසියාව තවත් සරණාගතයින් 3,500කට අධික පිරිසක් ඉදිරියේදී යැවීමට සැලසුම් කර ඇත.
2021 වසරේ හමුදා කුමන්ත්‍රණයෙන් පසු සිවිල් යුද්ධයක පැටලී සිටින මියන්මාරය තුළ, මේ වන විට ලක්ෂයකට අධික පිරිසක් මියගොස් ඇත. රොහින්ග්‍යා සුළුජන ප්‍රජාවට එරෙහිව ජන සංහාරයක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හමුදා පාලනය යටතේ, මව්බිරට පැමිණෙන සරණාගතයින්ට හැඩගැන්වීම්වලට සහ බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීමට මුහුණ දීමට සිදු විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන අනතුරු ඇඟවීම් කර සිටී.
එක්සත් ජාතීන්ගේ සරණාගත සමුළුවට අත්සන් කර නොමැති මැලේසියාව, සරණාගතයින් නීතිවිරෝධී සංක්‍රමණිකයින් ලෙස සලකන අතර, මේ වන විටත් UNHCR ආයතනයේ ලියාපදිංචි සරණාගතයින් 215,600කට වැඩි පිරිසක් එරට වාසය කරති.





















































