
ඊශ්‍රායලය බලා පියාසර කළ flydubai ගුවන් යානය පැහැර ගැනීමට ගත් උත්සාහය කලින් සැලසුම් කළ එකක් බවට අනාවරණ වේ
ඩුබායි රාජ්‍යයට අයත් ‘flydubai’ ගුවන් සේවයට සම්බන්ධ වීමටත් පෙර සිටම, ඊශ්‍රායලයේ 'බෙන්-ගුරියන්' ගුවන්තොටුපළ වෙත ගමන් ගත් ගුවන් යානයක් අනතුරට ලක් කිරීමේ සැලසුමක් තමා සතුව තිබූ බව, එම ගුවන් යානය පැහැර ගැනීමට තැත් කළ සහායක ගුවන් නියමුවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විමර්ශකයන් හමුවේ පිළිගෙන තිබේ.
ඔමාන් ජාතිකයෙකු වන මෙම සහායක ගුවන් නියමුවා, ගුවන් සේවයට බැඳීමටත් පෙර මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව විමර්ශන සම්බන්ධයෙන් දැනුවත් ඊශ්‍රායල නිලධාරීන් දෙදෙනෙකු ප්‍රකාශ කර ඇත.
පසුගිය බදාදා දිනයේ ඩුබායි සිට ඊශ්‍රායලය බලා පියාසර කළ ‘FZ1073’ දරන එම ගුවන් යානය අනතුරට ලක් කිරීමට ඔහු උත්සාහ කර තිබේ.
මීට පෙරද ඔහු ටෙල් අව්ව් නුවර වෙත ගුවන් ගමනක් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදීද යානය පැහැර ගැනීමට සූදානම් වුවද, අවසානයේ එම අදහස අත්හැර දමා ඇත.
කෙසේ වෙතත්, ගුවන් යානයේ සිටි කිහිපදෙනෙකු හඳුනන අය වීම නිසා ඔහු මීට පෙර ගත් ඒ තීරණය වෙනස් කරන්නට ඇති බව විමර්ශන ආරංචි මාර්ග පවසයි.
ඩුබායි සිට ඊශ්‍රායලය බලා පියාසර කරමින් තිබූ මෙම යානයේ නියමුවාට, හදිසි අවස්ථාවන්හිදී භාවිතා කිරීමට ඇති පොරවකින් සහායක ගුවන් නියමුවා විසින් පහර දී ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපතිවරයා මෙම සිදුවීම "ත්‍රස්ත ප්‍රහාරයක්" ලෙස නම් කර ඇත.
මෙම සැකකරු හමාම් අල්-හම්මාමි (Hamam al-Hammami) නම් ඔමාන් ජාතිකයෙකු බව ආරංචි මාර්ග සඳහන් කළද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් හෝ ‘flydubai’ ගුවන් සේවය ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් නිල වශයෙන් හෙළි කර නැත.
දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භාරයේ පසුවන සැකකරුට එරෙහිව මෙතෙක් විධිමත් චෝදනා එල්ල කර නොමැති අතර, ඔහු නීතිඥයෙකු පත් කරගෙන ඇද්ද යන්න මෙතෙක් අනාවරණ වී නැත.
මගීන් සහ කාර්ය මණ්ඩලය එක්ව සහායක ගුවන් නියමුවා මැඩපැවැත්වීම නිසා විශාල ව්‍යසනයක් වළක්වා ගැනීමට හැකි විය.
ගුවන් යානය තුළ ඊශ්‍රායල ජාතිකයින් බහුතරයක් ඇතුළු මගීන් සහ කාර්ය මණ්ඩලය 170 දෙනෙකුට අධික පිරිසක් සිටියහ.























































