
අඩි 34,000ක් ඉහළ අහසේදී නියමු කුටිය අභ්‍යන්තරයේ හටගත් බිහිසුණු ගැටුමක් හේතුවෙන් මුහුණදුන් මාරාන්තික අනතුරකින් flydubai ගුවන් යානය බේරා ගැනීමට ඊශ්‍රායල ජාතික මගියෙක් සමත්ව තිබුණි.
පෞද්ගලික ආරවුලක් මත හටගත් මෙම ගැටුම හමුවේ මගීන් 150කගේ ජීවිත බේරා ගැනීමට මූලික වූ යනිව් (Yaniv) නම් මෙම වීරයා, ඊශ්‍රායලයට පැමිණීමෙන් පසු අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ද ප්‍රශංසාවට ලක්විය.
ඩුබායි නුවර සිට ඊශ්‍රායලයේ ටෙල්අවීව් නුවර බලා පියාසර කරමින් තිබූ flydubai මගී ප්‍රවාහන ගුවන් යානය අඩි 34,000ක උසක පියාසර කරමින් තිබියදී හදිසියේම අතිශය අවදානම් තත්ත්වයකට මුහුණපෑවේය.
නියමුවන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් හේතුවෙන්, මිනිත්තු දෙකකට අඩු කාලයක් තුළ යානය අඩි 16,500කින් පමණ එකවර පහළට ඇදී ගොස් තිබිණි.
ගුවන් ආරක්ෂණ දත්තවලට අනුව, තත්පර 30ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ යානය අඩි 14,000ක් පහළට පතිත වී ඇති අතර, මේ හේතුවෙන් යානයෙන් හදිසි සංඥා (Emergency Signals) ද නිකුත් කෙරිණි.
පළමුව මෙය ගුවන් යානා පැහැරගැනීමක් ලෙස සැක කෙරුණ ද, පසුව අනාවරණ වූයේ එය නියමුවා සහ සහායක නියමුවා අතර හටගත් පුද්ගලික ආරවුලක් මත හටගත් දරුණු පිහි ඇණුමක් බවය.
නියමු කුටියට කඩා වැදුණු යනිව්ගේ වීර වික්‍රමය
ගැටුම හේතුවෙන් නියමුවන් දෙදෙනාම තුවාල ලබා ආසනවල නොසිටි අතර, පාලක මණ්ඩලය අසල සිටි පහරදුන් නියමුවා පාලක උපකරණ විනාශ කිරීමට උත්සාහ කරමින් සිටි ඇත.
යානය දැඩි ලෙස ඇලවීමකට ලක්ව බිමට කඩා වැටෙමින් තිබූ මොහොතක, තවත් මගියෙකු සමඟ නියමු කුටියට බලහත්කාරයෙන් ඇතුළු වූ ඊශ්‍රායල ජාතික යනිව්, ක්ෂණිකව ක්‍රියාත්මක විය.
සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයා හමුවේ අදහස් දක්වමින් යනිව් පවසා සිටියේ මෙවැන්නකි:
"මම ඇතුළට යන විට, නියමු ආසන අතර පාලක මණ්ඩලය අසල පහර දුන් නියමුවා ඉන්නවා මම දැක්කා. මම ඉක්මනටම එම ස්ථානයට ගොස් එම පුද්ගලයා අල්ලා පිටතට ඇද දැම්මා. යානය පහතට වැටීම නැවැත්වීම සඳහා මම නැවතත් නියමු කුටියට පැන පාලක ලිවරය අල්ලා එය ස්ථාවර කිරීමට ක්‍රියා කළා." යනුවෙනි
මීට පෙර දිනකදී තමන් විසින් නරඹන ලද ගුවන් අනතුරු පිළිබඳ වාර්තාමය වැඩසටහනකින් ලැබුණු දැනුම සහ ස්ථානෝචිතව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ වැටහීම මෙම අවස්ථාවේදී ජීවිත රැසක් බේරා ගැනීමට විශාල රුකුලක් වූ බව ඔහු සඳහන් කර ඇත.
අගමැති නෙතන්යාහුගෙන් විශේෂ ප්‍රණාමය
ප්‍රහාරයෙන් තුවාල ලැබූ නියමුවන් දෙදෙනා සමඟ සෞදි අරාබියේ ටබුක් ගුවන්තොටුපොළ වෙත ඉතා ආරක්ෂිතව ගොඩබැස්වූ මෙම ගුවන් යානයේ ගමන් කළ සමස්ත මගීන් 150 දෙනාටම කිසිදු අනතුරක් සිදුව නොතිබිණි.
පසුව, ඊශ්‍රායලයට පැමිණි මගීන් රැගත් විශේෂ යානය බෙන් ගුරියන් ගුවන්තොටුපළට ළඟා වූ අවස්ථාවේදී, අගමැති බෙන්ජමින් නෙතන්යාහු පුද්ගලිකවම යනිව් මුණගැසී ඔහුගේ දැඩි ධෛර්යය සහ සුවිශේෂී ක්‍රියාකලාපය අගය කර ඇත.
මිනිස් ජීවිත රැසක් බේරාගත් මෙම අසාමාන්‍ය ධෛර්යය මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය තුළද දැඩි කතාබහට ලක්ව තිබේ.





















































