
බලශක්ති වෙළඳපොළ තුළ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වා ගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අපේක්ෂාව බවත්, එය ඉටුකිරීමේදී පසුගිය දෙවසර තුළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සහ ජනතාවට බරක් නොවන බලශක්ති වෙළෙඳපොළක් ගොඩනැගෙමින් තිබෙන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (02) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග පද්ධතියද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට (CPSTL) අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ ජාතික ඉලක්කයට සමගාමීව ගුවන් ඉන්ධන සැපයුම් ආරක්ෂාව තහවුරු කිරීම, සැපයුම් පිරිවැය අවම කිරීම සහ අනාගත ගුවන් ඉන්ධන ඉල්ලුම සඳහා අවශ්‍ය ධාරිතාව සැපයීම වෙනුවෙන් මෙම ව්‍යපෘති ක්‍රියාත්මක වෙයි.
මෙරට ගුවන් සේවා ක්ෂේත්‍රයේ අනාගත ඉල්ලුම සාර්ථකව සපුරාලමින්, ගුවන් ඉන්ධන සැපයුම් සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ප්‍රවාහන වියදම් අවම කිරීම අරමුණු කරගනිමින් මුතුරාජවෙල සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධ කරමින්, ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහාම වෙන් වූ විශේෂ නළ මාර්ගයක් සහ ඊට සම්බන්ධ ටැංකි සංකීර්ණයක් ඉදිකිරීම් සිදු කෙරේ.
ඝන මීටර් 92,000ක සමස්ත ධාරිතාවකින් යුත් නව ජෙට් ඒ-1 ඉන්ධන ටැංකි පහක් ඉදිකිරීම් ආරම්භ වන අතර මෙහි විශාල ජෙට් ඒ-1 ටැංකි දෙකක්, එකක් ඝන මීටර් 30,000 බැගින් මධ්‍යම ප්‍රමාණයේ ටැංකි දෙකක්, එකක් ඝන මීටර් 15,000 බැගින් සහ ඝන මීටර් 2,000ක වන අතිරේක ටැංකියක් ඇතුළත් වේ.
මුතුරාජවෙල ටැංකි සංකීර්ණයේ සිට කිලෝමීටර් 21ක් දිග සහ අඟල් 10ක විෂ්කම්භයකින් යුත් භූගත නළ මාර්ගයක් ඔස්සේ ගුවන්තොටුපොළ වෙත ඉන්ධන සැපයුම් නළ පද්ධතිය සම්බන්ධ කෙරේ.






















































