
මහ බැංකුව විසින් පොලි අනුපාතය ඉහළ දැමීමට ගත් තීරණය හේතුවෙන් ආර්ථික වර්ධනය අඩපණ වනු ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ පොලී අනුපාත ඉහළ දැමීම හරහා ජනතාවගේ වියදම් කිරීමේ හැකියාව සීමා වන අතර, එමඟින් අපේක්ෂිත ආර්ථික වර්ධනය සහ සංවර්ධනය තවදුරටත් පහත වැටිය හැකි බවය.
සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත්, එම තීරණය හේතුවෙන් රට අපේක්ෂා කරන ආර්ථික වර්ධනය තවදුරටත් පහළ යනු ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම, මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 4.7ක් ලෙස සඳහන් වුවද, ඉන් සියයට 0.7ක දායකත්වයක් බදු ආදායමෙන් ලැබී ඇති බව ද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය හමුවේ අපේක්ෂිත ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම මෙන්ම එහි ප්රතිලාභ ජනතාව වෙත බෙදී යාම ද තවදුරටත් ප්‍රමාද වනු ඇති බවද හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා,
''මහ බැංකුව දිගින් දිගටම කියන දේ තමා දැන් උද්ධමනය 9%ට යනවා. ඒ නිසා ඉල්ලුම පැත්තෙන් උද්ධමනය පාලනය කිරීම සඳහා මිනිස්සුන්ට වියදම් කරන්න තියෙන ප්‍රමාණය අඩු කරන්න පොලී අනුපාත ඉහළ දානවා කියලා. එතකොට ඕකෙන් වෙන්නේ අර බලාපොරොත්තු වෙන වර්ධනය, සංවර්ධනය තවදුරටත් පල්ලෙහාට බහිනවා. ඇත්ත වශයෙන්ම බොහෝ දෙනා දන්න නැති දෙයක් තමයි ආර්ථික වර්ධනය 4.7ක් කියලා කිව්වට, ඕකෙන් 0.7 තියෙන්නේ බදු. එතකොට මේ බදු හරහා විශාල විදිහට ආර්ථිකය වර්ධනය වෙලා තියෙනවා කියන එක තමයි ඇත්ත වශයෙන්ම දත්ත ටික හරියට විශ්ලේෂණය කරගත්තොත් කෙනෙක්ට පේන්නේ. ඉතින් මට පේන්නේ බලාපොරොත්තු වෙන ආර්ථික වර්ධනය, ජනතාවට ඒ වර්ධනයේ ප්‍රතිඵල බෙදී යෑම තවදුරටත් ප්‍රමාද වෙන එක තමයි වෙන්නේ…"



















































