
පසුගිය සතියට සාපේක්ෂව මෙරට වෙළෙඳපොළ කිහිපයක දේශීය රතුලූනු සහ බිත්තර මිල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත මගින් අනාවරණය වී තිබේ.
මහ බැංකුව විසින් පසුගිය සති දෙක තුළ නිකුත් කරනු ලැබූ සතිපතා ආර්ථික දර්ශක වාර්තා මගින් මේ බව අනාවරණය වේ.
ඒ අනුව පිටකොටුව වෙළෙඳපොළේ දේශීය රතුලූනු කිලෝග්‍රෑමයක සාමාන්‍ය සිල්ලර මිල පසුගිය නොවැම්බර් 13 වැනිදායින් අවසන් වූ සතිය වන විට රුපියල් 527.60ක් ලෙස වාර්තා වී තිබූ අතර එය නොවැම්බර් 20 වැනිදායින් අවසන් වූ සතියේදී රුපියල් 675ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව සතියක් තුළ රතුලූනු කිලෝග්‍රෑමයක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 147.40කින් හෙවත් සියයට 27.9කින් පමණ ඉහළ ගොස් ඇත.
මේ අතර, පිටකොටුව වෙළෙඳපොළේ සුදු බිත්තරයක සාමාන්‍ය සිල්ලර මිල ද අදාළ කාලසීමාව තුළ රුපියල් 37.68 සිට රුපියල් 41.75 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව සතියක් තුළ බිත්තරයක මිල රුපියල් 4.07කින් ඉහළ ගොස් ඇති අතර එය සියයට 10.8ක පමණ වැඩිවීමකි.
මේ අතර, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ද දේශීය රතුලූනු කිලෝග්‍රෑමයක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 700 සිට රුපියල් 820 දක්වා ඉහළ ගොස් ඇති බවද අදාළ වාර්තාවල සඳහන් වන අතර එය සතියක් තුළ රුපියල් 120ක හෙවත් 17.1%ක වැඩිවීමක් ලෙසද සටහන් වේ
එමෙන්ම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සුදු බිත්තරයක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 39.60 සිට රුපියල් 42 දක්වා ඉහළ ගොස් තිබේ.
එළවළු වර්ග කිහිපයක මිල පහළට
කෙසේ වෙතත්, අදාළ කාලසීමාව තුළ පිටකොටුව වෙළෙඳපොළේ එළවළු වර්ග කිහිපයක මිල පහළ ගොස් ඇති බව ද වාර්තා වේ.
ඒ අනුව බෝංචි කිලෝග්‍රෑමයක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 580 සිට රුපියල් 560 දක්වාත්, ගෝවා කිලෝග්‍රෑමයක මිල රුපියල් 720 සිට රුපියල් 700 දක්වාත් පහළ ගොස් තිබේ.
එමෙන්ම තක්කාලි කිලෝග්‍රෑමයක සාමාන්‍ය සිල්ලර මිල ද රුපියල් 680 සිට රුපියල් 650 දක්වා පහළ ගොස් ඇති බව මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තා මගින් පෙන්වා දී ඇත.



















































