
බෙන්තර මුහුදු තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ 16 හැවිරිදි පාසල් සිසුවාගේ මෘත ශරීරය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
අද (22) දින බෙන්තර II ජීවිතාරක්ෂක මුරකුටියට වම්පසින් මීටර් 500ක් පමණ දුරින්, වෙරළේ සිට මීටර් 200ක් පමණ මුහුද දෙසට වන්නට තරුණයින් පස්දෙනෙකු දිය නාමින් සිටියදී එක්වරම මෙලෙස දියේ ගිලීමේ අනතුරට මුහුණ දී ඇත.
සිද්ධිය දුටු වහාම ක්‍රියාත්මක වූ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් එක්ව විශේෂ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබේ.
එහිදී ජීවිතාරක්ෂක උපකරණ භාවිත කරමින් තරුණයින් සිව්දෙනෙකු සුරක්ෂිතව ගොඩබිමට ගැනීමට සමත් වුවද, 16 හැවිරිදි අනෙක් තරුණයා දියේ ගිලී අතුරුදන්වී ඇත.
පසුව සිදුකළ අඛණ්ඩ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඔහුගේ සිරුර සොයා ගැනීමට වෙරළාරක්ෂක නිලධාරීන්ට හැකි වී තිබේ.
මෙලෙස බේරාගෙන ඇත්තේ වයස අවුරුදු 15, 16, 18 සහ 20 යන වයස්වල පසුවන තරුණයින් සිව්දෙනෙකි.
ඔවුන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා බෙන්තර ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.
















































