
සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහා නිකායේ මහා නාහිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් භාර දී තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමිපාණන් වහන්සේගේ සහ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නාහිමිපාණන් වහන්සේගේ අත්සනින් යුතු අදාළ සංදේශය, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා වෙත භාර දී ඇත.
එමෙන්ම හින්දු ප්‍රජාව වෙනුවෙන් හින්දු පූජක සංගමයේ සභාපති සහ සමස්ත ලංකා හින්දු සංස්කෘතික සභාවේ සභාපති ආචාර්ය සිවාශ්‍රී කේ.වී.කේ. වෛතීස්වර කුරුක්කල්තුමන් විසින් ද සංදේශයක් පිළිගන්වන ලදී.
පූජ්‍ය පාගොඩ ජන්තවංශ හිමි, පූජ්‍ය වේපටයිර ධම්මසිරි හිමි, හින්දු පූජක සංගමයේ සාමාජික සිවශ්‍රී කුගතාස කුරුක්කල්තුමන් ඇතුළු නීතිඥ තනුජා නවරත්න මහත්මිය සහ සමාජ ක්‍රියාකාරී ආර්. ඒ. අමිල සංජීව මහතා යන පිරිස ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





















































