
පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (29) වරෙන්තුවක් නිකුත් කළේය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකාබැලීමෙන් අනතුරුව මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුනානායක යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව පොලිස්පතිවරයා මාර්ගයෙන් මෙම වරෙන්තුව ක්රියාත්මක කරන ලෙසත් එම නියෝගයේ සඳහන් වුණි.
ඉන් අනතුරුව අදාළ නඩුකරය ඔක්තෝබර් මස 01 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියම කළේය.
මෙම මෝසම අද පෙරවරුවේ කැඳවනු ලබන අවස්ථාවේදී වග උත්තරකාර ඥානසාර හිමියන්ට අධිකරණයට හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබුණත් උන්වහන්සේ අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නොමැති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනි.. මගේ සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් පසු වෙනවා. උන් වහන්සේට විවේක ගන්නා ලෙස උපදෙස් ලැබී තිබෙනවා. ඒ නිසයි උන් වහන්සේ අද අධිකරණයට නොපැමිණීයේ. ස්වාමීනී... නීතිපතිවරයා ඉදිරිපත් කළ මෝසමේ පිටපත් මට ලැබී නැහැ. එහි පිටපත් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. එම ලේඛන ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව අධ්යයනය කර කරුණු දැක්වීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා" යනුවෙන් පැවසීය.
එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනි... මෙය අපරාධ නඩුවක්. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා තමයි වග උත්තරකරුට එල්ල වෙලා තිබෙන්නේ. වග උත්තරකරුට ජනාධිපතිවරයා විසින් ප්රදානය කළ සමාව බල ශූන්ය බවට අධිකරණය විසින් දැනටමත් තීන්දුවක් ලබා දී තිබෙනවා. එම නිසා වග උත්තරකරු අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටින්නේ නම් ඔහුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා." යනුවෙන් සඳහන් කළේය.
ඉන් අනතුරුව මෙම නඩුකරය පැය කිහිපයක් කල් තැබීමෙන් අනතුරුව ඊට අදාළ නියෝගය ප්රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල "මෙම වග උත්තරකරුට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබුණ. එහෙත් ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේ නෑ. ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බවට ඔහුගේ නීතිඥවරයා සඳහන් කළා. එහෙත් ඒ බව තහවුරු කරන වෛද්ය වාර්තා හෝ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබෙනවා. වග උත්තරකරුට එල්ල වී තිබෙන්නේ බරපතළ චෝදනාවක්." යනුවෙන් සඳහන් කළ විනිසුරු මඩුල්ල අනතුරුව වගඋත්තරකාර ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කළේය.
එම වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්රියාත්මක කරන ලෙසත් අනතුරුව මෙම නඩු කරය ඔක්තෝබර් මස 01 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේය.





















































