
ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිරදඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසමක් අද (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
මෙම මෝසම අද (29) මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවා ඇත.
එම අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නොමැත.
ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා සඳහන් කළේ සිය සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් විවේක ගන්නා බවත් මෙම මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබාදෙන ලෙසත්ය.
එහෙත් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා සඳහන් කළේ මෙය අපරාධ නඩුවක් බවය.
විත්තිකරු අධිකරණයට නොපැමිණෙන්නේ නම් වරෙන්තු නිකුත් කරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
අදාළ මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා කාලවේලාව ලබාදෙන ලෙස ඥානසාර හිමියන්ගේ නීතිඥවරයා කළ ඉල්ලීමකට අනුව මෙම නඩුව ස්වල්ප වෙලවකට කල්තබා තිබේ.






















































