
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ පොතුපිටිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
යතුරුපැදියක් තවත් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී කාර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි.
එමෙන්ම මීගොඩ, ගොඩගම - පාදුක්ක මාර්ගයේ ලියන්වල ප්‍රදේශයේදී ගොඩගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ පැදිකරු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි, බොරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ 54 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.
මේ අතර නොච්චියාගම, කුකුල්කටුව මාර්ගයේ කිලෝමීටර් 02 කණුව ආසන්නයේ දී සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කු කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
එම අනතුරින් තුවාල ලැබූ පැදිකරු සහ පසුපැදිකරු නොච්චියාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී 53 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇත.





















































