
අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අකුරැස්ස, පස්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග සහ පහත් බිම් ජලයෙන් යටවී ඇත.
අකුරැස්ස - සියඹලාගොඩ - පස්ගොඩ මාර්ගයේ හෝන්දුගොඩ ප්‍රදේශය ගංවතුරින් යටවීමත් සමඟ එහි ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.
මේ හේතුවෙන් බොහෝ පිරිසක් විකල්ප මාර්ග භාවිත කළද, එම මාර්ගවල විශාල වලවල් හෑරී තිබීම හේතුවෙන් ගමනාගමනය දැඩි ලෙස දුෂ්කර වී තිබේ.
අකුරැස්ස - මාරගොඩ මාර්ගය ද විකල්ප මාර්ගයක් ලෙස භාවිත කෙරුණද, මේ වනවිට එම මාර්ගයේ කොටස් ද ගංවතුරින් යටවෙමින් පවතී.
එමෙන්ම මොරවක - නෙළුව මාර්ගයේ පහත් බිම් ප්‍රදේශ ද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
මේ අතර, නිල්වලා ගඟේ ඉවුරුවල තිබූ විශාල උණ පඳුරු ගඟේ සැඩ පහරට හසුව ගසාගෙන යන අයුරු ද දක්නට ලැබුණු අතර, එම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසීන් තුළ බියක් ද හටගෙන තිබේ.
කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් ගංවතුරින් යටවන අකුරැස්ස - කඹුරුපිටිය මාර්ගයේ හෝන්දුගොඩ කොටස මෙවර එවැනි තත්ත්වයකට පත්ව නොතිබීම ද විශේෂත්වයකි.
අතුරලිය ප්‍රාදේශීය සභා සභාපති නුවන් රත්නායක මහතා, ගංවතුර තත්ත්වය හමුවේ කඹුරුපිටිය මාර්ගයේ ගමන් කරන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ඔරුවක් පවා සූදානම් කර තිබේ.
මේ අතර, නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පහත් බිම් ප්‍රදේශ සඳහා සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගඟ ආශ්‍රිත පහත් බිම්වල ජීවත්වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
විටින් විට මාතර දිස්ත්‍රික්කයට ධාරානිපාත වර්ෂාව ඇදහැලෙමින් පවතින අතර, ඒ හේතුවෙන් ජන ජීවිතයට එල්ල වී ඇති බලපෑම තවදුරටත් වර්ධනය වෙමින් පවතී.
එහෙත් පවතින තත්ත්වය හමුවේ අකුරැස්ස සහ අතුරලිය ප්‍රාදේශීය සභාවල සේවක මණ්ඩලය යුහුසුලුව සිය රාජකාරි කටයුතු සිදුකරමින් ජනතාවට අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන අයුරු ද දක්නට ලැබුණි.



















































