
නීතිය සමානව ක්‍රියාත්මක වීම රාජ්‍ය ආයතන කෙරෙහි ජනතාවගේ විශ්වාසය ගොඩනගන මූලික පදනමක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
රාජ්‍ය සේවයේ සිටින සියලුම නිලධාරීන් මතක තබාගත යුතු මූලික කරුණක් වන්නේ නීතිය සියලුදෙනාට එක හා සමාන වන බවත්, එය පාලකයාට, දේශපාලනඥයාට, රාජ්‍ය නිලධාරියාට මෙන්ම සාමාන්‍ය පුරවැසියාටත් එක ලෙස ක්‍රියාත්මක විය යුතු බවත් බව අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බඳවා ගත් ආධුනික දෙවන පෙළ ජේලර්වරුන් සහ නියාමකවරුන් පිරිසකගේ විසිරයාමේ උත්සවය අමතමිනි.
මෙම පුහුණු පාඨමාලා ද්විත්වය යටතේ නිලධාරීන් 265 දෙනෙකු විසිර ගිය අතර, උත්සවය ඊයේ (19) දින පවත්වන ලදී.
බලය තිබෙන පුද්ගලයාට එක් නීතියකුත්, බලය නොමැති පුද්ගලයාට වෙනත් නීතියකුත් තිබීම නීතියේ ආධිපත්‍යය නොවන බවත්, සියලු දෙනාට නීතිය සමානව ක්‍රියාත්මක වීම නීතියේ ආධිපත්‍යයවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ, රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය වන්නේ කිසියම් දේශපාලන සම්බන්ධතාවයක් හෝ බලපෑමක් නොව, අපක්ෂපාතීව රාජකාරිය කිරීමේ වගකීම බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"රාජ්‍ය සේවයේ සිටින අප හැමෝම මතක තබාගත යුතු මූලික කරුණක් තිබෙනවා. නීතිය කාටත් එක හා සමානයි. පාලකයාටත් එකයි. දේශපාලනඥයාටත් එකයි. රාජ්‍ය නිලධාරියාටත් එකයි. සාමාන්‍ය පුරවැසියාටත් එකයි.
නීතියේ ආධිපත්‍යය කියන්නේ බලය තිබෙන පුද්ගලයාට වෙනම නීතියකුත්, බලය නැති පුද්ගලයාට වෙනම නීතියකුත් තිබීම නොවෙයි. සියලු දෙනාට නීතිය සමානව ක්‍රියාත්මක වීමයි. එම විශ්වාසය රාජ්‍ය ආයතන කෙරෙහි ජනතාවගේ විශ්වාසය ගොඩනගන මූලික පදනමක්. ඒ නිසා ඔබට අවශ්‍ය වන්නේ දේශපාලන සම්බන්ධතාවයක් නොවෙයි. බලපෑමක් නොවෙයි.
ඔබට අවශ්‍ය වන්නේ නීතිය පිළිබඳ විශ්වාසය හා ඔබේ රාජකාරිය පිළිබඳ අවංකභාවයයි. ඔබ අද භාරගන්නා නිල ඇඳුම ඒ වගකීමේ සංකේතයක්. අප මතක තබාගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. අපරාධයක් සිදුවූ විට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එය අත්‍යවශ්‍යයි. නමුත් දඬුවමෙන් පමණක් සමාජයක අපරාධ ප්‍රශ්නය විසඳන්න බැහැ. බන්ධනාගාර ප්‍රතිපත්තිය දඬුවමෙන් අවසන් නොවී නිවැරදි කිරීම, පුනරුත්ථාපනය සහ නැවත සමාජගත කිරීම දක්වා ගමන් කළ යුතුයි. යමෙක් බන්ධනාගාර ගතවන්නේ තමන්ගේ වැරැද්දක් පමණක්ම නොව දීර්ඝ කාලයක් සමාජ ආර්ථික පද්ධතියේ පැවති පැවති වැරැද්දක් නිසා. සමාජය වෙනස් නොකර අපට බන්ධනාගාර පමණක් පාරිශුද්ධ ස්ථාන කරන්න බැහැ.
බන්ධනාගාරයෙන් පිටවන පුද්ගලයා නැවතත් අපරාධයකට යොමු වන තත්ත්වයකට පත් කරනවා වෙනුවට, ඔහුට නැවත ජීවිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය හැකියාව ලබාදීම වැදගත් වෙනවා."



















































