
මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැඳුණු අපරාධ කල්ලි මර්දනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල හමුවේ, අදාළ පාර්ශ්ව ආණ්ඩුවේ පාලනයට එරෙහිව සංවිධානය වෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අකුරැස්සේ අද (20) පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
දෙමාපියන් සහ ජනතාව අධිකරණ පද්ධතිය කෙරෙහි දැඩි විශ්වාසයකින් කටයුතු කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අපරාධයක් සිදුවූ වහාම එහි උණුසුම මැකීයාමට පෙර ඊට අදාළ දඬුවම් නියම වන්නේ නම් එම විශ්වාසය තවදුරටත් ශක්තිමත් වන බව අවධාරණය කළේය.
"අපේ හැම අම්මා තාත්තා කෙනෙක්ම අපේ රටේ අධිකරණය ගැන අචල විශ්වාසයකින් කටයුතු කරනවා. හැබැයි අධිකරණය ගැන තියෙන විශ්වාසය තවදුරටත් ශක්තිමත් වෙන්නේ අපරාධයක් සිදුවුණාම, ඒ අපරාධයේ උණුසුම මැකෙන්නත් කලින් දඬුවම් ලැබුණොත්. එවිට සමාජය තවත් අපේ අධිකරණය පද්ධතිය ගැන විශ්වාසය ගොඩනගනවා" යනුවෙන් පැවසීය
නඩු කල්යාමේ ක්‍රියාවලිය වෙනස් කළ යුතු බවත්, එමගින් වරදකරුවන්ට සහ නඩුවලට පැටලී සිටින පිරිස්වලට නීතියේ බිය දැනෙනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මීට පෙර සමාජයේ ඉහළ ස්ථරයේ පිරිස් නීතියට යටත් නොවන බවට මතයක් තිබූ බව සිහිපත්කළ ජනාධිපතිවරයා, මෙරට ඉතිහාසයේ පළමු වතාවට හිටපු ජනාධිපතිවරයෙකු පවා අධිකරණය හමුවට පමුණුවා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළ බව පැවසීය.
වත්මන් පාලනය යටතේ නීතියට ඉහළින් කිසිවෙකුත් නොමැති බවත්, ජනාධිපතිවරයා, මැතිඇමැතිවරුන් ඇතුළු සමස්ත පාලකයින් නීතිය හමුවේ එක හා සමානව සැලකෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් තහවුරු කළේය.
"දැන් නීතියට උඩින් කවුරුත් නෑ. කවුරුත් නීතිය ඉදිරියේ සමානයි. මමද අපේ මන්ත්‍රීවරයාද, මේ හැමදෙනාම නීතිය ඉදිරියේ සමානයි" යනුවෙන් පැවසීය.



















































