
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා හා මුතුර් ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරමක් සම්බන්ධයෙන් 'අද දෙරණ' උකුස්සාට තොරතුරු ලැබුණි.
දහවල් කාලයේ පවා කිසිඳු බියකින් සැකයකින් තොරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කීන්නියා ප්‍රදේශය හා මුතුර් ප්‍රදේශයේදී බලපත්‍ර නොමැති මෙම ජාවාරම්කරුවන් වැලි කැපීම සිදුකර තිබේ.
බලපත්‍රලාභි එක් පුද්ගලයෙකුට මසකට වැලි කියුබ් 45ක් පමණක් ගොඩදැමීමට අවසර ඇති නමුත් මෙහි බලපත්‍ර නොමැති පිරිස් ප්‍රමාණය ඉක්මවා වැලිකැපීම සිදුකරන බව අද දෙරණ උකුස්සා තහවුරු කරගනු ලැබීය.
ඒ් පිළිබඳ සොයාබැලීමට, වැලි කැපීම තහනම් කර ඇති රජයේ නිවාඩු දිනයක අද දෙරණ උකුස්සා එම ප්‍රදේශයට ගියේ වැලි කැපීම නැරඹීමට පැමිණෙන සාමාන්‍ය පුද්ගලයින් ලෙසයි.
එදිනත් මෙම ජාවාරම සිදුකර තිබේ.
ජාවාරම්කරුවන් පිරිසක් සමඟ සුහද කතාබහක නිරතවූ උකුස්සාට ඔවුන්ගේ දෛනික වියදම් පොත නිරීක්ෂණයටද අවස්ථාව හිමිවුණි.
එම වියදම් පොතේ පොලිස් නිලධාරින් සඳහාද දෛනිකව රුපියල් දහසක මුදලක් වෙන්කර තිබුණි.
මෙහි සිදුවන වැලි ජාවාරම සම්බන්ධයෙන් ආසන්න පොලිස් ස්ථාන කිහිපයක් දැනුම්වත්කිරීමට උකුස්සා පියවර ගනු ලැබීය.
අප දුරකථන ඇමතුම ලබාදී සුළු වේලාවකින් වැලි ජාවාරම්කරුවන් ගඟෙන් ගොඩවුණේ අප පොලීසියට ලබාදුන් තොරතුර මෙම ජාවාරම්කරුවන් දැනගත්තේ කෙසේද යන ප්‍රශ්නාර්ථය මතුකරමිනි.
ඔවුන් එදින තාවකාලිකව වැලි කැපීම නතර කළ නමුත් මෙම පුවත වාර්තාකරන අද දිනයේත් උදෑසන සිටම ජාවාරම ක්‍රියාත්මක බව අපට දැනගන්නට ලැබුණි.
ඒ අනුව, කලක් මුළුල්ලේ නිද්‍රාශීලීව පසුවන බලධාරීන්ගේ ඇස් දැන්වත් ඇරෙනු ඇතැයි අද දෙරණ උකුස්සාගේ විශ්වාසයයි.



















































