
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ මහජනතාව මුහුණපා සිටින ගැටලු හා දුක්ගැනවිලි සෘජුව ඉදිරිපත් කර, ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම් ලබාගැනීමට අවස්ථාව සලසමින් විශේෂ මහජන දිනයක් පවත්වා තිබේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මහජන දිනය ඊයේ (16) කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල මැදිහත්වීම අවශ්‍ය වන කරුණු සඳහා කඩිනම් අවධානය යොමු කරමින්, ඒවාට විසඳුම් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.
එහිදී මහජනතාව, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් තමන් මුහුණපා සිටින විවිධ ගැටලු සහ දුක්ගැනවිලි නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සෘජුව ඉදිරිපත් කර තිබේ.
එම කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් වැටුප් හා ලේඛන භාර නිලධාරීන්, යුද්ධ හමුදා රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය භාර නිලධාරීන් ද සහභාගි වී තිබේ.
මහජනතාව සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් ඉදිරිපත් කළ ගැටලු සඳහා අවශ්‍ය මැදිහත්වීම් සහ විසඳුම් ලබාදීමට එම නිලධාරීන් සහාය වී ඇත.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ගැටලු ඉදිරිපත් කළ අවස්ථාවේදීම අදාළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විසඳුම් ලබාදීමේ අරමුණින් මෙවැනි වැඩසටහනක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය බවය.
















































