
නඩු තීන්දුවක පිටපතක් ලබා දීම සඳහා රුපියල් 500ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවක් මත, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නියුතු කාර්යාල කාර්ය සහයකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ වංචා විමර්ශන කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති මුදල් ආරවුලකට අදාළ නඩුවක් සමථයකට පත්වීමෙන් පසු, එම නඩුවේ තීන්දුවේ පිටපතක් ලබා දීම සඳහා සැකකරු විසින් ඉකුත් ජුනි මස 30 වන දින මෙම අල්ලස් මුදල ඉල්ලා තිබේ.
පසුව ඒ සම්බන්ධයෙන් ලද තොරතුරු මත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු ඊයේ (16) පස්වරු 3.35 ට පමණ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදීම අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



















































