
නකල්ස් රක්ෂිතයේ පිහිටි පුංචි ලෝකාන්තයෙන් පහළට ඇදවැටීමෙන් අතුරුදන් වූ 27 හැවිරිදි තරුණයාගේ සිරුර හමුවී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මැණික්හින්න, කන්දේගම්මැද්ද, ලුනුකැටියාමඩිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංහොටී ගෙදර සෙනිත් කවීෂ අරුණ කුමාර නමැති තරුණයෙකි.
පසුගිය සිකුරාදා (11) සිට නිවසින් අතුරුදන්ව සිටි මෙම තරුණයා පිළිබඳව පවුලේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව සෙවීම් ආරම්භ කර තිබුණි.
පසුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී තරුණයාගේ ජංගම දුරකථන කුලුනු දත්ත (Tower Data) ඔස්සේ තොරතුරු අනාවරණය කරගනිමින් ක්‍රියාත්මක කළ සෙවුම් මෙහෙයුමකදී නකල්ස් පුංචි ලෝකාන්තයේ මැද කොටසේ තිබී ඔහුගේ සිරුර සොයාගෙන තිබේ.
අදාළ මළසිරුර කන්දේ මැද ප්‍රදේශයේ සිරවී තිබීම නිසා එය පහළට ගෙනයාම දැඩි දුෂ්කර කටයුත්තක් වූ අතර, ඒ සඳහා උඩදුම්බර පොලීසිය විසින් යුද හමුදා කොමාන්ඩෝ බලකායේ සහාය ලබාගෙන ඇත.
මෙම සිදුවීම අනතුරකින් සිදු වූවක්ද නැතහොත් දිවි හානිකර ගැනීමක්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උඩදුම්බර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.



















































