
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන බවට පූර්ව දැනුවත්වීමක් තිබියදී, යුද්ධ හමුදා බුද්ධි අංශය සියලු තොරතුරු කුමන්ත්‍රණකාරී ලෙස සඟවමින් ප්‍රහාරය සිදුවීමට ඉඩදී නිහඩව බලා සිට ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (15) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳහන් කළේය.
මේ අතර සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් වූ වෛද්‍ය වාර්තා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳ හේතු දක්වමින්, සැප්තැම්බර් 22 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිට එම වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෙත නොතීසි ද නිකුත් කෙරිණි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවිය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා ඇතුළු පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දැක්වීය.
"ස්වාමිනි, මේ තුන්වැනි සැකකාර සුරේෂ් සලේ ජුනි 07 වැනිදා ඉඳලා අදට දින 100ක් වෙනවා, ඔහු වෛද්‍ය විවේක ගනිමින් ඉන්නවා. ඔහු මෙසේ කරන්නේ, එකක් විමර්ශන අඩපණ කරන්න, අනෙක ඔහුගේ හාම්පුතුන් ආරක්ෂා කරන්න. "
මෙහිදි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙර දිනයේ අධිකරණය විසින් ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා යවන ලද සැකකාර සුරේෂ් සලේගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තා මේ වනවිට අධිකරණයට ලැබී ඇත්දැයි විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා එම වෛද්‍ය වාර්තා තවමත් ලැබී නොමැති බව සඳහන් කළේය.
එහිදී සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා විමසා සිටියේ සිය සේවාදායකයාගේ මානසික තත්ත්වය සහ වධහිංසාවට ලක්ව ඇත්දැයි සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ වාර්තාව අධිකරණයට ලැබී ඇත්ද යන්නය.
ඊට මහේස්ත්‍රාත්වරයා මෙසේ පිළිතුරු දුන්නා.
"නැහැ. එම වෛද්‍ය කමිටුව සිය වාර්තාවට අවශ්‍ය යම් තොරතුරු කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා තිබෙනවා. නමුත් ඔහු සඳහන් කර තිබෙනවා අධිකරණ නියෝග ප්‍රකාරව තොරතුරු ඉල්ලන්න කියලා. ඒ අනුව ඊට අදාළ නියෝග නිකුත් කළත්, තවමත් එම වාර්තා ලැබී නැහැ."
මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා යළි අධිකරණයේ කරුණු දැක්වූවා.
"ස්වාමිනි, මොකක්ද ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට එම වාර්තා නිකුත් කිරීමට තිබෙන දුෂ්කරතාවය ? මෙතන පැහැදිලිව වෛද්‍ය කුමන්ත්‍රණයක් තිබෙනවා. මේ තුන්වැනි සැකකාර සලේට හෘද ස්පන්දනය විධිමත් කිරීමේ යන්ත්‍රයක් දාලා තියෙනවා විතරයි. ඒක මේ ලොකු සැත්කමක් නොවේ. ඊට අමතරව දැනට ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටින ඔහු කන් සුද්ද කරනවා, ඇස් හදනවා, දත් හදනවා. නීතිඥවරු, ඥාතීන් ඔහුව හොඳහැටි බලන්න යනවා. මේ පුද්ගලයා ජාතික රෝහල තනිකරම විවේකාගාරයක් කරගෙන. ඉතිං ස්වාමිනි සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සවිස්තරාත්මක වාර්තාවක් එක්ක අධිකරණයේ පෙනී සිටින්න කියලා ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට කෙටි දිනයක් නියම කරන්න කියලා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. "
අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුර විමර්ශන සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණු රැසක් විවෘත අධිකරණය හමුවේ අනාවරණ කළා.
"ස්වාමිනි, යුද හමුදා බුද්ධි අංශය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන බවට පූර්ව දැනුවත්වීමක් සහිතව චේතනාන්විතව එය වීමට ඉඩහැරිය බවට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා. ස්වාමිනි, යුධ හමුදා බුද්ධි අංශයට අයත් පළමු සන්නද්ධ බුද්ධි බලකාය තියෙනවා වව්නියාවේ. ඊට තොරතුරු සපයපු කම්බියන් තවලන් නැමැත්තෙක්ගෙන් අපි මේ වෙද්දි ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඔහුට ඉන්දියාවේ රහස් ඔත්තු සේවා එක්ක සම්බන්ධතා තිබී තිබෙනවා. මේ තොරතුරුකරු 2014 වර්ෂයේ ඉඳලාම ප්‍රහාරයට අදාළ අන්තවාදීන් ගැන යුද්ධ හමුදාවට තොරතුරු දී තිබෙනවා. පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පෙරත් නිෂ්චිත දැනුම්දීමක් කරලා තිබෙනවා. නමුත් යුද්ධ හමුදා බුද්ධි ඒකකය මේ පිළිබඳ සම්පූර්ණයෙන් නිහඬව ඉඳලා. ප්‍රහාරයට පෙරදිනත් තොරතුරුකරු මේ ගැන කියනවා. නමුත් බුද්ධි අංශය ඒවා අනෙකුත් ආරක්ෂක අංශ සමඟ සන්නිවේදනය කරන්නේ නැහැ.
" ස්වාමිනි, සහරාන්ව ආරක්ෂා කරලා ඒ හරහා ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් ආරක්ෂා කරන්න යුධ හමුදා බුද්ධි අංශයේ සංවිධානාත්මක පිරිසක් දැඩි අවශ්‍යතාවයකින් කටයුතු කර තිබෙනවා. ඒ නිසයි වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය පිළිබඳ විමර්ශන නොමඟ යැව්වේ. මුලින් වව්නතිව් ප්‍රහාරය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් කළ බව යුද්ධ හමුදා බුද්ධි අංශය කියා තිබුණත්, ප්‍රහාරයට පෙර අප්‍රේල් 12 වැනිදා ගිරිතලේ බුද්ධි කඳවුර භාරව හිටපු කර්නල් මද්දුමගේ එය කළේ සහරාන් කියලා ලිඛිතව දැනුම් දී තිබෙනවා. යුද්ධ හමුදා බුද්ධි අංශයේ මේ තොරතුරු සඟවපු සියලු දෙනාම සුරේෂ් සලේගේ ගෝලයෝ."
"ස්වාමිනි, මේ ප්‍රහාරකයන්ට ආධාර අනුබලදුන් තවත් දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි පාස්කු ප්‍රහාරයට අදාළව නම කියවුණු රිෂාඩ් බදියුදීන්. ඔහු තමයි දේශපාලන රැකවරණය දෙන්නේ. ඒ වගේම අනිත් තැනැත්තා තමයි මන්නාරමේ ව්‍යාපාරිකයෙක් වන අලව්දීන් නැමැත්තා. ඔහු සහරාන් සමඟ ෂැන්ග්‍රීලා බෝම්බය පුපුරුවාගත් ඉන්ෂාෆ් අහමඩ්ගේ මාමණ්ඩිය. ඔහුගේ දියණිය සමඟ තමයි ත්‍රස්තවාදීයා විවාහ වෙලා හිටියේ. මේ අලව්දීන් නැමැති ව්‍යාපාරිකයාට අයත් Speed Boat යොදාගෙන ප්‍රහාරයට පෙර අවස්ථා කිහිපයකදී සහරාන්ලා ඉන්දියාවට ගිහින් තියෙනවා.
ඒ වගේම ත්‍රස්ත ප්‍රහාරක ඉන්ෂාෆ් සමඟ විවාහ වී සිටී අලව්දීන්ගේ දියණිය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රැඳවුම් නියෝග මත සිටියදී, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ නිදහස් කරලා තියෙනවා. මොකද ඊට හේතුව තමයි ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට ආධාර කරලා තියෙන්නේ ඔය කියන අලව්දීන්.
ඒ අනුව මේ සියලු කුමන්ත්‍රණ වහන්නයි ප්‍රහාරයෙන් පසු සලේව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ කළේ. සලේ ඇතුළු දේශපාලන රැකවරණය දෙන අය ප්‍රධාන කුමන්ත්‍රණකරුවන් සැඟවූ බව අපි නොවෙයි කලින්ම කිව්වේ. වත්මන් විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරු ව්‍යවස්ථාදායකයේදීයි ඒ ගැන කලින්ම කිව්වේ. ඔවුන් සියලුදෙනාගෙන් අපි ඉදිරියේදී ප්‍රකාශ සටහන් කරගන්නවා.''
'' ඒවගේම, එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අන්තවාදී අංශයේ පොලිස් පරීක්ෂක රංජන් සෙනරත් බණ්ඩාර පාස්කු ප්‍රහාරයට පෙර අන්තවාදීන් 94 දෙනෙකුගේ නම් ඇතුළත් ලේඛනයක් එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට යවා තිබෙනවා. එහි ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන්, රිල්වාන් වගේ දැනට මහාධිකරණ නඩුවේ ඉන්න සැකකරුවන්ගේ නම් තියෙනවා. පසුව නිලන්ත ජයවර්ධන උපදෙස් දී තිබෙනවා ඒ පිළිබඳ වැඩිදුර සොයාබලන්න කියලා. ඒ අනුව එම අංශයේ පොලිස් පරීක්ෂක රංජන් සෙනරත් බණ්ඩාර සහරාන්ගේ සහෝදරයින් වන ශෙයිනි හා රිල්වාන්ව හමුවෙන්න ගිහින් Chat එකක් දාලා, සතුටු සාමිච්චියේ යෙදිලා ඇවිල්ලා. ඔවුන්ව එම අවස්ථාවේ අත්අඩංගුවට ගත්තානම් පාස්කු ප්‍රහාරය සිදුවන්නේ නැහැ. ඒ නිසා යුද්ධ හමුදා බුද්ධි අංශය වගේම රාජ්‍ය බුද්ධි සේවයේ කණ්ඩායමකුත් ප්‍රහාරය පිළිබඳ දැනගෙන තොරතුරු වසන් කළ බව පැහැදිලියි.
ඊළඟට ස්වාමිනි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පස්සේ අප්‍රෙල් 27 වැනිදා සයින්දමරුදුවලදී ත්‍රස්තවාදීන්ගේ සමීපතමයින් 16ක් මියගියා. ඔවුන් ඔක්කෝම මරාගෙන මැරුණේ නැහැ. පැහැදිලිව කිහිපදෙනෙක් හෝ අත්අඩංගුවට ගන්න තිබුණා. නමුත් එම අවස්ථාවේ සයින්දමරුදු ප්‍රදේශය භාරව සිටියේ යුද්ධ හමුදාව. ඒ අනුව යුද්ධ හමුදාවේ යම් පිරිසක් ඉතාම සංවිධානාත්මකව සත්‍ය තොරතුරු අනාවරණය වීම වැළැක්වීමට 16 දෙනෙක්වම සමූල ඝාතනය කළාදැයි සොයන්න විමර්ශන කරනවා.''
මෙහිදී මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කළේ අදාළ නම් සඳහන් බුද්ධි නිලධාරීන්ට එරෙහිව සාක්ෂි ඇත්නම් මෙතෙක් අත්අඩංගුවට නොගත්තේ මන්ද යන්නය.
ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා "ගිරිතලේ කඳවුර භාරව සිටී කර්නල් මද්දුමගේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව රිට් පෙත්සමක් දමා තිබෙනවා. අධිකරණයට ගරු කිරීමක් ලෙසයි ඔහුව අත්අඩංගුවට නොගන්නේ. නඩුව අවසන් වූ වහාම කුදලාගෙන ඇවිල්ලා කූඩුවට නග්ගනවා" යැයි පැවසුවා.
අනතුරුව සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේස් සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයට කරුණු දැක්වුවා.
"ස්වාමිනි, උගත් අතිරේක සොලිසිටර් ජනරාල්තුමා ගොඩාක් අය ගැන කතා කියලා අන්තිමට ඒ ඔක්කෝම මගේ සේවාදායක සුරේෂ් සලේගේ ගෝලයෝ කිව්වා. බී වාර්තාවලට ඕන පචයක් දාන්න පුළුවන් ස්වාමිනි. නමුත් ඒවා සාක්ෂි නොවේ. ඒ නිසා ඒවාට පිළිතුරු දෙන්න මම මේ අවස්ථාවේ උත්සාහ කරන්නේ නැහැ. ඊළඟට, මම නීතිඥවරයෙක් මිසක් වෛද්‍යවරයෙක් නොවේ. නමුත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අපේ උගත් ජනාධිපති නීතිඥතුමාට තරම් වෛද්‍ය දැනුමක් වෙන කාටවත් නැහැ. මම නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කරන සමයේවත් මට එහෙම දැනුමක් තිබ්බේ නැහැ. මම B වාර්තාවලින් පච කියලත් නැහැ. ඒ නිසා අධිකරණය විධිමත් ක්‍රියාදාමයන් යටතේ මගේ සේවාදායකයා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා කැඳවන්න කියා මා ඉල්ලා සිටිනවා.''
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සැකකාර සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් වූ වෛද්‍ය වාර්තා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳ හේතු දක්වමින්, එම වෛද්‍ය වාර්තා ඉදිරි දිනයේ අධිකරණය හමුවේ පෙනීසිට ඉදිරිපත් කරන ලෙස ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කළේය.
නීති කෘත්‍යය යළි සැප්තැම්බර් 22 වනදා කැඳවීමට නියමිතය.



















































