
ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය.
ඇය සමග රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වූ ඈන් ද ලිවේරා මහත්මියද පිටත්ව ගොස් තිබේ.
ඔවුන් අද දින අලුයම 01.10ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) දිනයේ දී අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබුණු අතර ඇය රෝහලේ සිටම ගුවන් තොටුපොළ වෙත අද අලුයම රැගෙන ගොස් තිබේ.
කෙසේ වෙතත් ගුවන් යානයට ගොඩ වී යානය පිටත්වීමේ අවසන් නිවේදනය නිකුත් කරන අවස්ථාවේ දී ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 24 වැනි දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.
ඈන් ද ලිවේරා මහත්මිය ශිරන්ති රාජපක්ෂ මහත්මියව සිංගප්පූරුවේ ප්‍රතිකාර සඳහා යොමුකර නැවත අනිද්දා දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන්ය.



















































