
දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් එකම පවුලේ දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකර තිබේ.
පසුගිය 11 වනදා අලුයම 3ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබුණි.
සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණ නිවසේ දොරට තට්ටු කර, නිවැසියන් එය විවෘත කිරීමෙන් අනතුරුව නිවස තුළට අත්බෝම්බය ප්‍රහාරය එල්ල කර ඇති බව CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය වී තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ මව් සෙනෙහසද අහිමිව පියාගේ රැකවරණය යටතේ හැදී වැඩුණු 17 හැවිරිදි කසුන් රශ්මික සහ ඔහුගේ බාල සහෝදරයා වන 11 හැවිරිදි දුමින්ද ගිහාන් යන දෙදෙනාය.
ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඔවුන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබුණි.
ප්‍රහාරයෙන් 55 හැවිරිදි ඔවුන්ගේ පියාගේද පාදයකට තුවාල සිදුව ඇති අතර, ඔහුද මේ වන විට එම රෝහලේ ප්‍රතිකාර ලබය.
කෙසේ වෙතත්, පියා සම්බන්ධයෙන් කිසිදු අපරාධ චෝදනාවක් නොමැති බව පොලීසිය තහවුරු කර තිබේ.
පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණ වලදී සැකපළ කර ඇත්තේ, මෙම අත්බෝම්බ ප්‍රහාරය වැරදීමකින් සිදුවූවක් බවය.
කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයෙකුගේ සහෝදරයාගේ නිවස ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ, නිවස මාරුවීමෙන් මෙම ඛේදනීය සිදුවීම සිදුවන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
ප්‍රහාරය සඳහා යොදාගත් බවට සැකකෙරෙන ත්‍රිරෝද රථය පසුව ඉහළ බෝපේ ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
























































