
දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඊයේ (11) අලුයම නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරය වැරදීමකින් සිදුවූවක් බවට පොලිසිය සැකපළ කරයි.
එම ප්‍රහාරයෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔවුන්ගේ පියාද තුවාල ලබා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
පොලිසිය සැකපළ කරන්නේ අදාළ බෝම්බ ප්‍රහාරය කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයාගේ සහෝදරයාගේ නිවස ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ, නිවස මාරුවීමෙන් මෙම ඛේදනීය සිදුවීම සිදුව ඇති බවයි.
ජීවිතක්ෂයට පත්වූ දරුවන් දෙදෙනාගේ දේහයන් අද (12) පස්වරුවේ ඔවුන්ගේ නිවස වෙත රැගෙන ඒමට නියමිතව තිබේ.
මේ අතර අද මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සඳහන් කළේ, කිසිදු අවස්ථාවක අපරාධ කල්ලිවලට, පොලිසිය හෝ මහජනතාව අබිබවා යාමට ඉඩ නොතබන බවයි.
පාතාල කල්ලි විසින් සංවිධානාත්මක අපරාධ සඳහා අලුත් උපක්‍රමයක් ලෙස අත්බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.



















































