
කොන්ක්‍රීට් ගොඩනැගිලිවලට පමණක් සීමා නොවූ, ජනතාවට සැනසිල්ලේ ජීවත් විය හැකි ජනතා කේන්ද්‍රීය සහ තිරසාර නගර සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක "නගර සංවර්ධනයට නව ප්‍රවේශයක්" යටතේ ඇරඹි "Life Cities" (ජීවන නගර) සංවර්ධන වැඩසටහනේ නිල සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. කොළඹදී පැවති මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ද සහභාගී වූවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ දිවයින පුරා නගර 26ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 65ක ප්‍රතිපාදන රජය විසින් වෙන් කර ඇති බවයි.
"සමහර නගරවල ආත්මය පාසල වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් ස්ථානයක් වෙන්න පුළුවන්. ඒ නිසා නාගරික සංවර්ධනය නිවැරදි අවබෝධයකින් කළ යුතුයි. අපි නගර 10ක් මුලින්ම තෝරාගත්තා. නගරය කියන්නේ ගොඩනැගිලි විතරක් නෙමෙයි කියන සාරය මත පිහිටා අපි මේවා ක්‍රියාත්මක කරනවා. හෙට සිට වැඩ ආරම්භ කරන්න; නගරාධිපතිවරුන් පෙන්වන ප්‍රගතිය අනුව ඉදිරි වැඩවලට ප්‍රතිපාදන වෙන් කරනවා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.



















































