
1950 වසරේ සිට මේ දක්වා කාලය තුළ වාර්තා වූ එල් නිනෝ තත්ත්වයන් 28 හා සැසඳීමේදී මෙවර ඇතිවන තත්ත්වය ඒ සියල්ල අබිබවා යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා සඳහන් කළේ, මෙම එල් නිනෝ තත්ත්වය ඇතිවීමේ පුරෝකථනය මීට පෙර පැවති 69% සිට 75% දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව ගෙවුණු වසර 75ක කාලය තුළ වාර්තා වූ සියලු එල් නිනෝ තත්ත්වයන්ට වඩා වැඩි බලපෑමක් මෙවර ඇතිවිය හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවට කිලෝමීටර දහස් ගණනක් ඈතින් පිහිටි පැසිෆික් සාගර කලාපයේ සිදුවන මෙම පාරිසරික සංසිද්ධිය හේතුවෙන්, ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයිනට ඇදහැලෙන වර්ෂාපතනය සාමාන්‍ය මට්ටමට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත.
ඉදිරි සති දෙකක කාලය තුළ වර්ෂාවේ යම් අඩුවක් පැවතියද, සැප්තැම්බර් මස අග සිට දිවයින පුරා පැතිර යන පරිදි වැසි තත්ත්වය ක්‍රමයෙන් වැඩිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
ලබන ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මෙම තත්ත්වය 'ප්‍රබල එල් නිනෝ' තත්ත්වයක් බවට පත්වීමේ සම්භාවිතාව 98%ක් තරම් ඉහළ අගයක පවතින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී හෙළි කළේය.
කෙසේ වෙතත්, මෙම අධික වර්ෂාපතන කාලසීමාවෙන් පසුව, එනම් එළඹෙන වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වර්ෂාපතනය සැලකිය යුතු ලෙස පහත බැසීම හේතුවෙන් දැඩි ජල හිඟයක් නිර්මාණය වීමේ අවදානමක්ද පවතී.
එල් නිනෝ තත්ත්වයක් යනු සෘජුවම වියළි කාලගුණයක් හෝ පෑවිල්ලක් පමණක්ම නොවන බවත්, එය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මෝසම් කාලගුණ රටාවේ සිදුවන විශාල වෙනස්කමක් බවත් අජිත් විජයමාන්න මහතා මෙහිදී අවධාරණය කළේය.
එසේම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ඉදිරි කාලයේදී දිවයිනේ දිවා මෙන්ම රාත්‍රී කාලයේද උෂ්ණත්වය ඉහළ අගයක පවතිනු ඇති අතර, වර්ෂාව ලැබුණද පවතින රස්නය හෝ උෂ්ණත්වයේ අඩුවීමක් සිදු නොවන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



















































