
විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කරන බව පවසා අමෙරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් (රු.බි. 23.7) නීතිවිරෝධී අන්දමින් විදෙස් රටවලට ප්‍රේෂණය කිරීමේ සිද්ධියට අද (10) අත්අඩංගුවට ගත් පුද්ගලයා ගැන තවත් කරුණු හෙළිවී තිබේ.
අදාළ සැකකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහු එළැඹෙන සැප්තැම්බර් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කරන බව පවසා, මුදල් විදෙස් රටවලට ප්‍රේෂණය කරන සමාගම් කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා රේගුව විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඊට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගත් අතර, ඔවුන් මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මරදානේ පදිංචි මෙම සැකකරු ගැන තොරතුරු අනාවරණ වී ඇත.
සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඔහු 2023 වසරේ ජනවාරි පළමුවැනිදා සිට 2025 වසරේ නොවැම්බර් මස 21 වනදා දක්වා කාලය තුළදී මෙරටින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් එනම්, රුපියල් බිලියන 23.7කට අධික මුදලක් ප්‍රේෂණය කර ඇති බවය.
රාජ්‍ය හා පෞද්ගලික බැංකු 6ක් ඔස්සේ සමාගම් 26කින් අවස්ථා 3,198කදී ඔහු විසින් මෙලෙස මුදල් ප්‍රේෂණය කර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.
ඔහු අදාළ මුදල්, චීනය, ඉන්දියාව හා ඩුබායි වෙත ප්‍රේෂනය කර ඇති බවත්, ඒ සඳහා ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ඇක්ෂන් හෙවත් ටීටී ක්‍රමය යටතේ අදාළ මුදල් යැවූ බවත් පවසා තිබේ.
මොහු විසින් සාක්ෂරතාව අඩු සහ ඔහු යටතේ සේවය කළ පිරිස් යොදවා පුද්ගලික සමාගම් සහ ඒම සමාගම්වලට අදාළව බැංකු ගිණුම් විවෘත කර ඇති අතර, ඒ සඳහා එක් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක පමණ මුදල් ලබාදී ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
කෙසේ වෙතත් අදාළ බැංකුවලින් මොහු පිළිබඳ හෝ සමාගම් සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදුකර නොමැති බවද වාර්තා වේ.
රූපලාවණ්‍ය භාණ්ඩ ගෙන්වන මුවාවෙන් මොහු මෙම ජාවාරම සිදුකර තිබේ. කෙසේවෙතත් මොහු හරහා මුදල් යොමුකළ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත. එමෙන්ම මොහුට සහාය දැක්වූ පිරිස් සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
බැංකුවකට අන් අයෙකු ලෙස පෙනී සිට වංචා කිරීම, කූඨ ලේකන සැකසීම රජය වෙත වංචා කිරීම යන චෝදනා යටතේ සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපියවර ගැනීමට නියමිතව ඇත. මොහුට මුදල් ලැබුණු මූලශ්‍ර පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මකය.
මොහොමඩ් මුසම්මිල් මොහොමඩ් ඉන්ෆාස් නම් මෙම සැකකරුව අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගමගේ මහතා හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ මෙලෙස දක්වා තිබේ.
"ස්වාමීනී, මොහුට අයත් සමාගම් 26න් එකඳු සමාගමකින්වත් කිසිඳු භාණ්ඩයක් ගෙන්වලා නැහැ. භාණ්ඩ ගෙන්වන බවට ඉදිරිපත් කර ඇති සියලුම ලේඛන කූඨ ලේඛනයි.
මෙවැනි සමාගම් හරහා රුපියල් බිලියන ගණනින් සූක්ෂ්ම ලෙස රජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා මුදල් යවලා තිබෙනවා. ශ්‍රී ලංකා රේගු රේගු පනතට අනුව විමර්ශන සිදුකරනවා. මොහු යවපු මුදල් මොහුගේ මුදල් නොවෙයි. මොහුට මුදල් දුන් අය පිළිබඳව විමර්ශන සිදුකරන්න අවශ්‍යයි.
මේ පුද්ගලයා සාක්ෂි විනාශ කරලා තිබෙනවා. විමර්ශන කටයුතුවලට බලපාන සාක්ෂි විනාශ කරන්න කටයුතු කරලා. මොහුව ඇපමත මුදාහැරීම විමර්ශනයට බාධාවක්" යැයි පැවසීය.
අනතුරුව සැකකරු වෙනුවෙන් නීතීඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ මෙලෙස කරුණු ඉදිරිපත් කළේය,
"ස්වාමීනී, මොහුට කිසිදු ආකාරයකින් නිති විරෝධී මුදල් ලැබිලා නැහැ. මේ මුදල් පිටකොටුවේ ව්‍යාපාරිකයන්ගේ මුදල්. රේගුව හරහා භාණ්ඩ නීත්‍යානුකූලව ගෙනල්ලා ව්‍යාපාර කරන්න බැහැ.
ඒ නිසා තමයි අන්ඩර් වැලිව් හෙවත් නියමිත වටිනාකමට අඩුවෙන් මිල සදහන් කරමින් භාණ්ඩ ගෙන්වන්නේ. පද්ධතියේ ඇති වැරදි නිසා පුද්ගලයෙකුව වැරදිකරුවකු කරන්නත් බැහැ" යනුවෙන් කරුණු දැක්වීය.
සියලු කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු එළැඹෙන සැප්තැම්බර් 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය.



















































