
කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් ජනතාවගේ ජීවිත අලංකාර කළ නොහැකි බවත්, නගරයක් යනු එහි ජීවත්වන මිනිසුන් මෙන්ම සතුන් ඇතුළු සියලු දෙනාටම ආරක්ෂාව සහ අයිතිය හිමි නිදහස් ස්ථානයක් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක "නගර සංවර්ධනයට නව ප්‍රවේශයක්" යටතේ ආරම්භ කෙරුණු "Life Cities" (ජීවන නගර) සංවර්ධන වැඩසටහනේ නිල සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේද පැවසුවාය:
"අද වන විට ප්‍රවාහන අමාත්‍යාංශය ජනතාවට වඩාත් සංවේදී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත් සමඟ එය ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. 'Life Cities' කියන්නෙත් එවැනිම ප්‍රායෝගික ව්‍යාපෘතියක්. කොළඹ දිස්ත්‍රික්කය හොඳම උදාහරණයක් ලෙස ගත් විට, අපේ රටේ නගර ව්‍යාප්ත වුණේ කිසිදු ක්‍රමවේදයකට නෙමෙයි; ඉතාම අවිධිමත් විදිහටයි. අද අපේ ජනගහනයෙන් 44.5%ක්ම ජීවත් වෙන්නේ මේ අවිධිමත් ස්ථානවලයි.
නගර ලස්සන කරන්න ඇතැම් පිරිස් කලින් නගරයෙන් ඉවත් කළා. නමුත් ඒකේ ඵලවිපාක අපි අදටත් විඳිනවා. නගරය සංකීර්ණයි, විවිධාකාරයි. නගරය අයිති එක කොටසකට විතරයි කියන පදනමේ ඉඳලා සංවර්ධනය කිරීම ඉතාම වැරදියි. නගරය සියලු දෙනාටම අයිතියි. නගරයක් කියන්නේ කොන්ක්‍රීට් වනාන්තරයක් නෙමෙයි. මිනිසුන් වගේම සතුන් පවා නගරයේ කොටස්කරුවන් වන අතර, ඒ සියලු දෙනාටම ආරක්ෂාව තියෙන පරිසරයක් අපි නිර්මාණය කළ යුතුයි."
කොළඹදී පැවති මෙම උත්සවයේදී ව්‍යාපෘති සැලැස්ම විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන් විසින් අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගන්වන ලදී.
පළමු අදියර යටතේ සංවර්ධනය කිරීමට නියමිත මාතර, මඩකළපුව, මාතලේ, වව්නියාව, බදුල්ල, යාපනය, හලාවත, හැටන්, තලාව සහ ඇහැලියගොඩ යන නගරවල පළාත් පාලන නියෝජිතයින් වෙත මෙහිදී අදාළ ව්‍යාපෘති සැලසුම් භාර දෙනු ලැබීය.



















































