
පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් විපක්ෂය ඉවත් වීමට තීරණය කර තිබේ.
ඒ එම කාරක සභාවේ කාලය එළැඹෙන දෙසැම්බර් මස 17 වැනි දින දක්වා දීර්ඝ කිරීමේ තීරණයට විරෝධය පළ කරමිනි.
අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මෙම කාරක සභාව සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බැවින් එම කාරක සභාවේ කාලය දෙසැම්බර් මස 17 වැනි දින දක්වා දීර්ඝ කළ බවය.
කෙසේ වෙතත් මීට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ මෙම කාරක සභාව රැස්වී මේ වන විට මාස 9ක් ගතව ඇති බවය.
එමෙන්ම කාරක සභාවේ අරමුණ වනුයේ පළාත් සභා ඡන්දය ඉක්මනින් පැවැත්වීමට අදාළ කරුණු සාකච්ඡා කිරීම මිස මැතිවරණය කල් දැමීම නොවන බැවින් විපක්ෂයක් ලෙස ඉදිරියේදී එම කාරක සභාවට පැමිණීමෙන් වැළකීමට තීරණය කළ බවත් ඔහු අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේය.
"මේ කාරක සභාව රැස්වෙන්න පටන් අරන් දැන් මාස 9ක් වෙනවා. මේකේ ක්‍රියාදාමය, ක්‍රියාවලිය දැක්කාම අපි දැක්කේ මේක කල් මැරීමක්. පළාත් සභා ඡන්දේ පවත්වන්න නෙමෙයි මේක කල් දාන්න කරන කරන කාරක සභාවක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මැතිවරණ කොමිෂන් සභාව මේ සඳහා යෝජනාවක් ඉදිරිපත් කළා. විපක්ෂ මන්ත්‍රීවරුන් විදිහට අපි ඒකට කැමැත්ත ප්‍රකාශ කරා. අපි කියනවා මෙවැනි කල් මැරීමේ, කාලය කා දැමීමේ කාරක සභාවට විපක්ෂය විදිහට අපි නැවත එන්නේ නැති විත්තිය."




















































