
විදේශ රැකියාව අතරතුරදී මරණයට පත්වූ විදේශ ගත ශ්‍රමිකයින් සඳහා දෙනු ලබන මරණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට පියවරගෙන තිබේ.
මෙය විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදීමට හැකිවූ විශාල සහනයක් බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ, විදේශ රැකියාව අතරතුරදී මරණයට පත්වූ විගමණික ශ්‍රමිකයින් 50 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් වෙත රුපියල් කෝටි 7ක මුදලක් වන්දි වශයෙන් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
විදේශ රැකියාව අතරතුරදී මරණයට පත්වන අයෙකුට මීට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රුපියල් ලක්ෂ හයක මුදලක් ලබා දෙන ලදී.
එම මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ දැමීමට පියවර ගැනීම සම්බන්ධයෙන් සතුටට පත් වන බව අමාත්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා කියාසිටියේය.
වාර්ෂිකව විදෙස් ගත වන ශ්‍රමිකයින්ගේ කුමන හෝ අවාසනාවන්ත හේතුවක් මත ඔවුන්ගෙන් 250 දෙනෙකුට පමණ වාර්ෂිකව දිවි අහිමි වේ.
මෙම තත්ත්වය අවම කරගැනීමට වැඩපිළිවෙඵක් සමහ යෝජනා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව ද විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.
“විදේශගත ශ්‍රමිකයින් වාර්ෂිකව මෙරටට ඇමරිකානු ඩොලර් බිලියන 8ට ආසන්න මුදලක් ප්‍රේෂණ වශයෙන් ලබාදෙනවා. ඔවුන් වෙනුවෙන් විශාල සුභසාධන පහසුකම් ප්‍රමාණයන් කාර්යාංශය දැනටමත් ක්‍රියාත්මක කරනවා වගේම අපි තව වැඩසටහන් අලුතින් හදුන්වා දෙන්නත් කටයුතු කරනවා. ඒ අතරින් එක් වැඩසටහනක් තමයි විදේශගත ශ්‍රමිකයින්ට නිවාස ණය ලෙස රුපියල් මිලියන 10ක මුදලක් බැංකු හරහා ලබාදීමට කටයුතු කිරීම. අඩු පොලියක් යටතේ මේ ණය ලබාදෙනවා වගේම කාර්යාංශය ඒ පොලියෙන් කොටසක් ගෙවන්නත් කටයුතු කරනවා. ඒ වගේම පාසල් දරුවන්ට පාසල් උපකරණ හා වාර්ෂික ශිෂ්‍යත්ව දීමනා වැනි සුබසාධන පහසුකම් දැනටත් කාර්යාංශය ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදෙනවා”



















































