
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනිවාර්ය SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති විදුලි දිගු රැහැන් (Extension Cords) අලෙවි කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ වෙළෙඳ ආයතනයකට රුපියල් ලක්ෂ 4ක දඩයක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ ආයතනයට එරෙහිව චෝදනා 4ක් යටතේ නඩු පවරා තිබුණි.
පසුගිය අගෝස්තු මස 28 වනදා සිදුකළ වැටලීමකදී, අනිවාර්ය SLS ප්‍රමිති සහතිකය අවශ්‍ය විදුලි දිගු රැහැන් SLS සලකුණ නොමැතිව රුපියල් 2,790ක මිලකට අලෙවි කරමින් තිබියදී හඳුනාගෙන ඇත.
එමෙන්ම අවම වගකීම් කාලයක් ලබා නොදීම සහ සැපයුම්කරුවන්ගේ නීත්‍යානුකූල බිල්පත් නොමැතිව භාණ්ඩ අලෙවියට තැබීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබේ.
අධිකරණය හමුවේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව විත්තිකාර සමාගමට රුපියල් 400,000ක දඩයක් නියම කර ඇත.
2017 දෙසැම්බර් 7 වනදා නිකුත් කළ අංක 2048/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 63 දරන විධානය යටතේ වෝල්ට් 250 නොඉක්මවන විදුලි උපාංග කිහිපයක් සඳහා අනිවාර්ය SLS ප්‍රමිති සහතිකය නියම කර තිබේ.
ඒ අනුව පේනු, Socket Outlets, විදුලි දිගු රැහැන්, ඇඩප්ටර, Fused Connection Units, පරිවර්තක පේනු සහ කේබල් රීල් සඳහා අදාළ SLS ප්‍රමිති සහතිකය තිබීම අනිවාර්ය වේ.
විදුලි අනතුරු සහ ගිනිගැනීම් වළක්වා ගැනීම සඳහා මෙවැනි විදුලි උපාංග මිලදී ගැනීමේදී SLS ප්‍රමිති ලාංඡනය සහ වගකීම් කාලය පරීක්ෂා කර, නීත්‍යානුකූල බිල්පතක් ලබාගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.



















































