
පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් නීතිවිරෝධී ලෙස අල්ලන ලද මත්ස්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවෙකු මූතූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නැගෙනහිර නාවික විධානයට ලද විශ්වසනීය තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා සහ ගෝකණ්ණ ආයතන ඒකාබද්ධව මූතූර් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු සහ මත්ස්‍ය තොගය නාවික හමුදා භාරයට ගෙන ඇත.
එහිදී සැකකටයුතු ලෙස ධාවනය වූ ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මත්ස්‍යයින් කිලෝ ග්‍රෑම් 820 ක පමණ විශාල තොගයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන පොඩුවයිකට්ටු, සෙන්දූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ සැකකරු, මත්ස්‍ය තොගය සහ ප්‍රවාහනයට යොදාගත් ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මූතූර් ධීවර පරීක්ෂක කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මූතූර් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.



















































