
චීන ජනපති ෂී ජින්පින්ගේ අපේක්ෂිත නවදිල්ලි සංචාරය මෙම සතියේදී සිදුවීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වසර 7කට පසු චීන ජනපති ඉන්දියාවේ නිරත වන පළමු සංචාරය මෙය වන අතර, එමගින් මෙම බලවත් අසල්වැසි රටවල් දෙක අතර පවතින සබඳතාවලට නව ජවයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට සමගාමීව එරට දේශපාලන සහ ව්‍යාපාරික දූත පිරිසක් ද ඉන්දියාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ වාර්ෂික BRICS රාජ්‍ය නායක සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් නවදිල්ලියට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.
කෙසේවෙතත්, දෙරටේ ඉදිරි ද්විපාර්ශ්වික සබඳතාවල ගමන්මග තීරණය කිරීම සඳහා අතිශය තීරණාත්මක වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපතිවරයා අතර හමුවක් පැවැත්වෙන්නේද යන්න පිළිබඳවද මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැත.
විශේෂයෙන්ම පසුගිය වසරේ අග්‍රාමාත්‍ය මෝදි චීනයේ නිරත වූ සංචාරයෙන් පසුව සහ අමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින සබඳතාවල අවදානම් මතුවීමත් සමගම මෑත කාලීනව දෙරට අතර සබඳතාවල පැහැදිලි සුබවාදී වර්ධනයක් දක්නට ලැබුණි.



















































