
අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් අද (09) පෙරවරුවේ කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්විණි.
පසුගිය අගෝස්තු මස 25 වන දින සිය අක්තපත්‍ර භාරදීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස රාජකාරී ආරම්භ කළ වෙයි හුආෂියැන්ග් මහතා වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සිය හෘදයාංගම සුබ පැතුම් එක් කළේය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාද සහභාගී වී ඇත.
හමුව අතරතුරදී, චීන ශිෂ්ටාචාරයේ ගැඹුරු අර්ථය වඩාත් සමීපව අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසන සාම්ප්‍රදායික චීන සිතුවම් ඇතුළත් විශේෂ ග්‍රන්ථයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත චීන තානාපති වෙයි හුආෂියැන්ග් මහතා විසින් පිළිගන්වා ඇත.
ඒ වෙනුවෙන් තානාපතිවරයා වෙත සිය ස්තුතිය පුද කළ හිටපු ජනාධිපතිවරයා, ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ ජනතාව සුහදත්වයෙන් යුතුව වැළඳ ගනිමින් මිත්‍රත්වයෙන් මෙන්ම උපායමාර්ගික හවුල්කාරිත්වයෙන් යුතුව දෙරට මෙතෙක් පැමිණි ගමන්මග මෙහිදී ආවර්ජනය කළ අතර, චීන රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳවද සිය කෘතඥතාව පළ කළේය.

















































