
පසුගිය කාලය පුරා දැඩි වියළි කාලගුණයක් පැවැති මොනරාගල, අම්පාර, බදුල්ල, මඩකලපුව සහ නැගෙනහිර පළාතේ බොහෝ ප්‍රදේශවලට අද (04) සහ හෙට (05) තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ සැප්තැම්බර් මාසයේ අග භාගයේ සිට දිවයින පුරා සාමාන්‍ය පරිදි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ඊයේ (04) නිකුත් කළ වාර්තාවකට අනුව, දැනට පවතින 'එල් නිනෝ' තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව ද ඒ මහතා මෙහිදී පැවසීය.
මෙම තත්ත්වය ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වන විට ඉතා ප්‍රබල මට්ටමකට ළඟා වීමට නියමිත බවත් ඒ සමගම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වර්ෂාපතන රටාවේ දැඩි වෙනස්කම් රැසක් සිදුවිය හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේය.
එමෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ මේ හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මාසයේදී දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවය.
තවද, ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී වර්ෂාපතනය සැලකිය යුතු ලෙස අඩු වී, දිවයින පුරා නැවතත් දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.
මේ අතර ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (04) පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවලට මි. මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය බවද සඳහන්.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී.
හෙට (05) දින දහවල් 12:08ට මොරටුව, කැස්බෑව, පොල්ගස්ඕවිට, හඳපාන්ගොඩ, ශ්‍රී පලාබද්දල, බොගවන්තලාව, ඉදල්ගස්හින්න, යුදගනාව, කොටියාගල, පානම යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.
එමෙන්ම හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකියි.
මුලතිව් සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.
එමෙන්ම සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60ක් දක්වා වැඩි විය හැකි බවද සඳහන්.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 - 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

















































