
කොල්ලුපිටිය 6 වැනි පටුමගේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසල අද (04) අලුයම වෙඩිතැබීමක් සිදුකර තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම වෙඩිතැබීමෙන් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කළ බවය.
වෙඩි තැබීම සිදුව තිබුණේ අද අලුයම 3ට පමණය.
කොල්ලුපිටිය 6 වැනි පටුමගේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක උඩු මහලක සිටි පුද්ගලයෙක් එළිමහනේ සිටි කාන්තාවන් දෙදෙනෙකු ඉලක්ක කර මෙලෙස වෙඩි තබා තිබුණි.
වෙඩි වැදීමෙන් එක් කාන්තාවක් තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර සඳහා ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
පොලිසිය පැවසුවේ, පෞද්ගලික හේතුවක් මත වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

















































