
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානය දිනාගත් කුරුණෑගල, ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දනෝජ් තීක්ෂණ වීරසේකර සිසුවාගේ කුසලතාව අගයමින් 'මනුසත් දෙරණ' වෙතින් විශේෂ ත්‍යාග සහ ශිෂ්‍යත්ව පිරිනැමීමක් අද (3) සිදු කෙරිණි.
ඉකුත් අගෝස්තු 9 වැනිදා පැවැති ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 289,867 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් සිසුන් 56,000ක් කඩඉම් ලකුණ (ලකුණු 139) පසුකර යාමට සමත් විය.
එම සියලු සිසුන් අභිබවා යමින් සමස්ත ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට දනෝජ් පුතණුවන් සමත් වූයේ ලකුණු 193ක විශිෂ්ට සාමාර්ථයක් සටහන් කරමිනි.
දනෝජ් සිසුවාගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් දෙරණ සහ මනුසත් දෙරණ නිර්මාතෘ දිලිත් ජයවීර මහතා හමුවීමේ විශේෂ අවස්ථාවක් අද මනුසත් දෙරණ කාර්යාලයේදී සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට දනෝජ්ගේ පියා, විදුහල්පතිතුමන් මෙන්ම ඔහුගේ සොහොයුරියද එක්ව සිටියහ.
එහිදී දනෝජ්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු පහසු කිරීම වෙනුවෙන් ලැප්ටොප් පරිගණකයක් පිරිනැමූ අතර, සාමාන්‍ය පෙළ විභාගය දක්වා ඉදිරියට අධ්‍යාපනය හැදෑරීම සඳහා මාසික ශිෂ්‍යත්වයක් ලබාදීමටද 'මනුසත් දෙරණ' පියවර ගත්තේය.
මීට අමතරව, 2018 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188ක් ලබාගෙන දැනට වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරන දනෝජ්ගේ සොහොයුරියටද පොත්පත් ඇතුළු අධ්‍යාපනික උපකරණ කට්ටලයක් පිරිනැමීමට කටයුතු කෙරිණි.

















































