
බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීමට යෝජනා වී ඇති නීතිමය ප්‍රතිසංස්කරණ මේ වන විට සිදුකරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (01) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වූ නීතිමය ප්‍රතිසංස්කරණ ගණනාවක් සම්බන්ධව මේ වන විටත් සාකච්ඡා කරමින් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනය සිදුකරමින් පවතින බවය.
"අධිකරණ පද්ධතියේ සිදුකරණ ප්‍රතිසංස්කරණ ගණනාවක් අතරේ ඒ නීතිමය ප්‍රතිසංස්කරණයත් සිදුවෙනවා. බන්ධනාගාරවල තිබෙන ප්‍රමාණය අඩු කරන්න. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා කඩිනම් කරන්න, ඇප ලබා දීමට නොහැකි අයට ඇප ලබා දීමට අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ කරන්න, බන්ධනාගාරයෙන් පිට මෙවැනි අය නිවාසවල රඳවා තබා ගනිමින් ඒ තමන්ගේ දඬුවම් කාලය ගත කරන්න ආදී ප්‍රතිසංස්කරණ ගණනාවක් සම්බන්ධව සාකච්ඡා කරමින් සහ නීති සම්පාදනය කරමින් පවතිනවා. මේ සමස්තය තුළ තමයි අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසත් වැඩි කරන්න යෝජනා කරලා තියෙන්නේ."

















































