
හදිසි ජල ගැලීම් තත්ත්වයෙන් බලපෑමට ලක්වූ නේපාලයට මානුෂීය ආධාර ලබාදීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 අගෝස්තු 26 වැනිදා උතුරු නේපාලයේ රඝුවා දිස්ත්‍රික්කයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වී ඇති අතර, මහා පරිමාණ දේපොළ හානිද සිදුවිය.
ආපදා තත්ත්වයේ බරපතළ ස්වභාවය හේතුවෙන් නේපාල රජය සහ ජනතාව දැඩි මානුෂීය පීඩනයකට මුහුණදී සිටින අතර, අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකිරීම, තවදුරටත් ගංවතුර ඇතිවීමේ අවදානම සහ යටිතල පහසුකම්වලට සිදුව ඇති විශාල හානි හේතුවෙන් කඩිනම් සහන හා ප්‍රතිසාධන සහාය අවශ්‍ය වී තිබේ.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා මෙන්ම දෙරට අතර ඇති ගැඹුරු සංස්කෘතික හා ආගමික සබඳතා සැලකිල්ලට ගනිමින් මෙම පරිත්‍යාගය සිදු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, නේපාල රජය වෙත මානුෂීය ආධාරයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

















































