
අතීතයේ රජවරුන් විසින් වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සඳහා පවරා ඇති ඉඩකඩම් මහා සඟරුවන පමණක් භුක්ති විඳින බවට සහ ඒවා නැවත ජනතාව අතර බෙදා දිය යුතු බවට රට තුළ වැරදි මතයක් ගොඩනැඟෙමින් පවතින බවත්, එය සම්පූර්ණයෙන්ම වැරැදි බවත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියෝ පවසති.
ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරය සහ ශ්‍රී විෂ්ණු දේවාලය සඳහා අතීතයේ ලබා දී තිබූ ඉඩකඩම්වල පදිංචි සහ ඒවා භුක්ති විඳින ජනතාවට 'උරුමය' ඉඩම් අවසර පත්‍ර පිරිනැමීමේ උත්සවයට (31) එක්වෙමින් නාහිමියෝ මෙම අදහස් පළ කළහ.
රංගිරි දඹුලු රජමහා විහාරස්ථ මැද පන්සලේදී මෙම උත්සවය පැවැත්විණි.
දිවයිනේ වෙහෙර විහාරස්ථාන සතු ඉඩකඩම්වලින් ලැබෙන ආදායම් භික්ෂූන් වහන්සේලා අතර පමණක් නොව, කිසිදු ජාති, ආගම්, කුල භේදයකින් තොරව ප්‍රදේශයේ ජනතාව, දිළිඳු පවුල්වල දූදරුවන්ගේ අධ්‍යාපනය, දහම් පාසල් මෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ලබන පිරිස් වෙනුවෙන් ද වැය කරමින් රටේ පොදු මහජනතාව අතර බෙදී යන බව නාහිමියෝ මෙහිදී පෙන්වා දුන්හ.
එමෙන්ම මෙම ඉඩකඩම් භුක්ති විඳින ජනතාව ඒවා ඉතා පරිස්සමින් භුක්ති විඳිමින් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දිය යුතු බව උන්වහන්සේ අවධාරණ කළහ.
රංගිරි දඹුලු රජමහා විහාරයේ සහ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර ශාස්ත්‍රපති දඬුබැදුරුප්පේ මහින්ද නාහිමියන්ගේ සංවිධායකත්වයෙන් සහ රංගිරි දඹුලු රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල නාහිමියන්ගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
විහාරස්ථානය සතු ඉඩකඩම් භුක්ති විඳින පුද්ගලයන් 800 දෙනෙකු වෙත 'උරුමය' නමින් නිත්‍යානුකූල ඉඩම් අවසර පත්‍ර ලබා දීම මෙහිදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.
අතීතයේ මුඩුබිම් පනත යටතේ රජයට ඉඩම් පවරා ගැනීමේදී එවකට සිටි මහා සඟරුවන මෙම ඉඩම් රජමහා විහාර සන්තකයට ලබාගෙන දැඩි පරිශ්‍රමයකින් ආරක්ෂා කරගත් නිසා අදටත් ඒවා සුරක්ෂිතව පවතින බව දඹුලු රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල නාහිමියෝ සඳහන් කළහ.

















































