
රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 46,000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය තවමත් අඛණ්ඩව සිදුවන බවය.
අද (31) මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
එමෙන්ම වී මෝල් සහ සමූපකාර පදනම් කරගනිමින් රාජ්‍ය මැදිහත්වීම මත වී මිලදී ගැනීමේ ක්‍රියාවලියද මේ වන විට ආරම්භ කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය පසුගිය ජූලි 13 වැනිදා ආරම්භ කරනු ලැබූ අතර ඒ අනුව වැඩිම වී අස්වනු නෙලන ප්‍රදේශ ආශ්‍රිතව වී ගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කළේය.
මින් පෙර රජය පැවසුවේ මෙවර වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ වී මෙට්‍රික් ටොන් 39,500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවය.
කෙසේ වෙතත් එම අපේක්ෂිත ඉලක්ක අභිබවා වී මිලදී ගැනීමට රජය කටයුතු කළ අතර පසුගිය කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ අපේක්ෂිත ඉලක්කය ඉක්මවා වී මිලදී ගැනීම සිදුකළ බවය.

















































