
නේපාලයේ රසුවා ප්‍රදේශයේ පිහිටි භෝටේකොෂි ගංගාවේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ සංචාරකයින් 384දෙනා අතරින් විදේශිකයින් 111දෙනෙකුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව නේපාල සංචාරක මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ගංවතුර තත්ත්වයෙන් අතුරුදන් වූ මුළු පිරිස අතර විදේශීය ජාතිකයින් 291දෙනෙකු සහ නේපාල ජාතිකයින් 93දෙනෙකු සිටින බවය.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දැනට වාර්තා වී ඇති තොරතුරුවලට අනුව අතුරුදන් වූ විදේශිකයින් අතුරින් වැඩිම පිරිසක් එනම් 105දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන බවය.
මීට අමතරව මැලේසියානු ජාතිකයින් 17දෙනෙකු, එක්සත් රාජධානියේ 12දෙනෙකු, දකුණු අප්‍රිකාවේ 04දෙනෙකු, අමෙරිකානු ජාතිකයින් 03දෙනෙකු, ඔස්ට්‍රේලියාවේ එක් අයෙකු සහ නෙදර්ලන්තයේ එක් අයෙකු ද අතුරුදන් වූවන් අතර සිටින බව සඳහන්.
නේපාල ආරක්ෂක අංශ සහ සංචාරක අධිකාරිය එක්ව අතුරුදන් වූ පිරිස් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් දියත් කර තිබේ.



















































